anuradhapura-politician-remanded

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනවිය, සර්වජන බලවේගය පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයකු සහ තවත් සැකකරුවකු ලබන ජනවාරි 6 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළාය. මෙම නියෝගය නිකුත් කෙරුණේ අනුරාධපුර මහ නගර සභාව යටතේ පාලනය වන කොන්ත්‍රාත් වැඩ බිමක සේවකයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මහේස්ත්‍රාත්වරිය පෙරේදා (24) මෙම නියෝගය ලබා දුන්නාය.




අනුරාධපුරයේදී සිදුවූ බව කියන මෙම පහරදීමේ සිද්ධිය බීමතින් සිදුකර ඇති බවට පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබුණි. එම කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම තීරණයට එළැඹුණි. අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ අනුරාධපුර මහා නගර සභාවේ සර්වජන බලවේගය පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වන තිලක් නිශාන්ත ගිනිගේ සහ ජීවන් බණ්ඩාර සමරකෝන් යන දෙදෙනායි.

අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කරුණානන්ද වන්නිනායක මහතා, උපපොලිස් පරීක්ෂක නන්දසේන සහ සැරයන් ඉලංගසිංහ යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ. සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සංජය රත්නායක සහ ප්‍රදීප් දිසානායක යන මහත්වරුන් පෙනී සිටියහ.