ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියකට අදාළව ගොනු කර තිබූ නඩුවක වගඋත්තරකරුවන් දෙදෙනෙකු එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පසුගිය 08 වනදා නියෝග කළේය.
මෙම නඩුව මගින් ඕෂල හේරත් සහ ජාමුණි කමන්ත තුෂාර යන අය වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණ ද,ඔවුන් එලෙස නම් කිරීමට තරම් ප්‍රමාණවත් හේතු දැක්වීමක් හෝ කරුණු තහවුරු කිරීමක් සිදු කර නොමැති බව පවසමින් මහේස්ත්‍රාත්වරයා ඔවුන් මෙලෙස මුදා හැරීමට පියවර ගත්තේය.
ජනක රත්නායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරිය ඇතුළු පිරිසක් විසින් ඔහුගේ ජීවිතයට අදාළ අතිශය පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැර ඇති බවට හෝ එසේ කිරීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් නීතිඥ මඬුල්ලක් මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර තිබුණි. 2024 අංක 9 දරන මාර්ගගත ආරක්ෂණ පනතේ 24 වැනි වගන්තිය යටතේ මෙම නඩුව පවරා තිබූ අතර, මීට පෙර පෙත්සම්කරු කළ ඉල්ලීමකට අනුව ක්‍රියා කළ පූර්වාගාමී මහේස්ත්‍රාත්වරයා විසින් පී.අයි.ඒ. ගයත්‍රි බිම්බා, යසලාල් පෙරේරා සහ කවිශ්වර ගුණරත්න ඇතුළු වගඋත්තරකරුවන් අට දෙනෙකු වෙත කොන්දේසි සහිත ආඥාවක් ද නිකුත් කර තිබූ බව අධිකරණයේදී අනාවරණය විය.
කෙසේ වෙතත් අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් දෙදෙනෙකු මුදා හැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම නඩුව නැවත සති දෙකකින් කැඳවීමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි නඩු විභාග කටයුතු සඳහා 2026 වසරේ ජනවාරි මස 05 වන දින නඩුව යළි කැඳවීමට නියමිතව තිබේ.