disaster-relief-grants-increase

 ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබා දෙන වියළි ආහාර සදහා වන දීමනාව ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය නිවේදනය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කරන ලද 2025 අංක 01 දරන චක්‍රලේඛයට අනුව මෙම දීමනා ඉහළ දැමීම සිදු කර තිබේ.



ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පෙන්වා දෙන පරිදි, මීට පෙර තනි පුද්ගලයකු සඳහා සතියකට ලබා දුන් රුපියල් 1,800ක මුදල රුපියල් 2,100 දක්වා ඉහළ දමා ඇත.


නව ක්‍රමවේදය යටතේ සාමාජිකයන් දෙදෙනකු සිටින පවුලකට රුපියල් 4,200ක් ද, තිදෙනකු සිටින පවුලකට රුපියල් 6,300ක් සහ හතර දෙනකු සිටින පවුලකට රුපියල් 8,400ක් ද හිමිවනු ඇත. මීට පෙර සාමාජිකයන් පස් දෙනකු සිටින පවුලක් සඳහා ලබා දුන් රුපියල් 3,600ක මුදල රුපියල් 10,500 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබීම විශේෂත්වයකි.

පවතින ආපදා තත්ත්වය විස්තීරණ ආපදාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ 2025 අංක 03 දරන චක්‍රලේඛය මගින් සහන සේවා කඩිනම් කිරීමට බලධාරීන්ට අවසර ලබා දී තිබේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට රුපියල් මිලියන 50ක් දක්වා වූ ප්‍රසම්පාදන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට හැකියාව පවතී. එමෙන්ම මුදල් සෘජුව බැංකු ගිණුම්වලට බැර කිරීම වෙනුවට, ප්‍රාදේශීය කමිටු පිහිටුවා ගනිමින් විපතට පත් ජනතාවට ගැළපෙන පරිදි අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පවරා ඇත.

ආපදා සහන සේවා සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ තොරතුරක් වෙතොත් 011-2665258 යන දුරකතන අංකය ඔස්සේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඇමතිය හැකි අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය ද විවෘතව පවතී.