ඉකුත් දා රට තුළ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ මාර්ග 316න් මාර්ග 300කම ගමනාගමන කටයුතු මේ වන විට යළි ආරම්භ කිරීමට හැකි වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා සඳහන් කරයි.
ආපදාවෙන් වැඩිම හානියක් වාර්තා වූ මධ්‍යම පළාතේ සියලුම මාර්ග මේ වන විට විවෘත කර ඇති නමුත්, ඉන් ඇතැම් මාර්ග පවතින්නේ තාවකාලිකව පිළිසකර කළ මට්ටමක බව ඒ මහතා පෙන්වා දෙයි. එම මාර්ග පූර්ණ වශයෙන් සංවර්ධනය කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 69ක පමණ මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ස්වභාවික විපත හේතුවෙන් පාලම් 40ක් විනාශයට පත්ව ඇති අතර, ඉන් පාලම් 36ක් මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කිරීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් මෙම පාලම් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ යුතුව ඇති බවත්, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය හා ඒකාබද්ධව නාය ගිය ස්ථාන සංරක්ෂණය කිරීමට රුපියල් බිලියන 100කට වැඩි මුදලක් වැය වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීමේදී හදිසි අලුත්වැඩියාවන් සඳහා රුපියල් මිලියන 100ක් ද, බේලි පාලමක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 120ක් ද ඇස්තමේන්තු කර තිබේ. එමෙන්ම දරුණු ලෙස හානි වූ මාර්ග, බෝක්කු සහ පැති බැමි අලුත්වැඩියාව වෙනුවෙන් රුපියල් බිලියන 14ක පමණ මුදලක් අවශ්‍ය බව ගණන් බලා ඇති අතර, මෙම සියලු කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගනිමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval