මොරටුවේ සිට අනුරාධපුරයට පැමිණ සිය දරු දෙදෙනා සමග මල්වතු ඔයට පැන දිවි නසා ගැනීමට තැත් කළ මවකගේ ක්‍රියාව හේතුවෙන් දියේ ගිලී අතුරුදහන්ව සිටි සිව් හැවිරිදි දැරියගේ මළ සිරුර දින හතකට පසු අනුරාධපුර නව පාලම ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ගොඩගනු ලැබූ මෙම සිරුර මොරටුව, අඟුලාන දුම්රියපළ පාරේ පදිංචිව සිටි සිතුල්යා මිරියගල්ල නම් මාස හතරහමාරක් වයසැති දැරියගේ බවට හඳුනාගෙන ඇත. සොයාගන්නා අවස්ථාවේදී දැරියගේ සිරුරේ වම් අත සහ වම් පාදය අඩුව තිබූ අතර, මල්වතු ඔයේ ගැවසෙන කිඹුලන් හෝ කබරයන් විසින් එම ශරීර කොටස් කා දමන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
මීට දින කිහිපයකට පෙර, එනම් පසුගිය 04 වැනිදා මෙම දැරියගේ සොහොයුරා වන අට හැවිරිදි තිපුක මිරියගල්ල දරුවාගේ දේහය ද අනුරාධපුර මිහිඳුපුර ප්‍රදේශයේ ගං ඉවුරක තිබී සොයාගනු ලැබීය.
අදාළ සිද්ධිය වාර්තා වූයේ ඉකුත් 02 වැනිදා වන අතර, විදෙස්ගත සැමියා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් මොරටුවේ නිවසින් පිටව ආ 40 හැවිරිදි මෙම කාන්තාව අනුරාධපුර මිහිඳුපුර පාලම අසලින් දරුවන් දෙදෙනා ද සමග මල්වතු ඔයට පැන තිබිණි. එදින උදෑසන දියේ ගසාගෙන යමින් සිටි කාන්තාවක් උදව් ඉල්ලා කෑගසනු ඇසූ ප්‍රදේශවාසීන් පිරිසක් වහා ක්‍රියාත්මක වී ඇයව බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගත් නමුත්, දරුවන් දෙදෙනා සැඩ පහරට හසුව අතුරුදහන් විය.
දිවි ගලවාගත් මව වන සේනාදි ශ්‍රීමා විතාන නමැත්තිය මිනීමැරුම් චෝදනා යටතේ අනුරාධපුර පොලිසිය විසින් රෝහලේදී අත්අඩංගුවට ගත් අතර, ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ යෑම සහ සැඩ පහර වැඩිවීමත්, කිඹුලන් බහුලව ගැවසීමත් නිසා දරුවන් සොයා ගැනීමේ මෙහෙයුම අතිශය දුෂ්කර වූ බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් දින 06ක් පුරා සිදුකළ අවදානම් සහගත මෙහෙයුමකින් අනතුරුව දරුවන් දෙදෙනාගේම සිරුරු සොයාගැනීමට සමත් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval