twelve-people-who-took-medicine-from-nuwara-eliya-hospital-have-lost-their-sight

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, රජයේ රෝහල් වෙත නිකුත් කළ රුපියල් කෝටි 421කට අධික වටිනාකමකින් යුත් ඖෂධ, ශල්‍ය උපකරණ සහ රසායනාගාර ද්‍රව්‍ය තොගයක් 2024 වසරේදී ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබේ.




මෙම ඖෂධ තොගයේ ප්‍රමිතිය බිඳ වැටීමට හේතු වී ඇත්තේ දෘෂ්‍ය අංශු තිබීම, බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපද ඖෂධවේදී පිරිවිතරයන්ට අනුකූල නොවීම, ලේබල් කිරීමේ මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම, වර්ණය වෙනස් වීම, පෙති කැඩී යාම, වීදුරු කැබිලි අඩංගු වීම සහ අහිතකර ප්‍රතික්‍රියා ඇතිවීම වැනි කරුණු බව එම විගණන වාර්තාවේ සඳහන් වේ. භාවිතයෙන් ඉවත් කළ මෙම වෛද්‍ය සැපයුම් අතර බැක්ටීරියා ආසාදන, සමේ රෝග, මානසික රෝග, දියවැඩියාව, අක්මා රෝග සඳහා ලබා දෙන ඖෂධ මෙන්ම ප්‍රතිජීවක ඖෂධ ද අන්තර්ගත බව එහි වැඩිදුරටත් දැක්වේ.

මේ අතර, රුපියල් කෝටි 137කට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් ද ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් 2024 වසරේදී තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබුණි. එපමණක් නොව, කල් ඉකුත් වූ "බ්ලඩ් ග්ලූකෝස් ස්ට්‍රිප්ස්" ඒකක මිලියන 2.5ක් රෝහල් වෙත බෙදා නොහැරීම සහ ඒ වෙනුවට දේශීයව මිලදී ගැනීම් සිදු කිරීම සඳහා අමතර මුදල් වැයවීම හේතුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න පාඩුවක් සිදු වී ඇති බව ද එම වාර්තාව තවදුරටත් අනාවරණය කරයි.




ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය හේතුවෙන් නුවරඑළිය රෝහලේ රෝගීන් 17 දෙනකුගෙන් 12 දෙනකුට ස්ථිරවම එක් ඇසක පෙනීම අහිමි වී ඇති අතර, තවත් රෝගීන් තිදෙනකුගේ පෙනීම සියයට 70කට වඩා අහිමි වී ගොස් ඇති බව විගණන අංශ අනාවරණය කරයි. 2025 වසරේදී කැබිනට් මණ්ඩල තීරණයක් මත මෙම රෝගීන් 17 දෙනාට රුපියල් කෝටි 1.5ක කරුණා සහගත දීමනාවක් ගෙවා තිබුණද, එම ඖෂධ භාවිතයෙන් අගතියට පත් වූ අනෙකුත් රෝහල්වල රෝගීන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් පවත්වා වන්දි ලබාදීමක් සිදු කර නොමැති බව එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ සපයන සමාගම්වලින් වන්දි ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රසම්පාදන ලියවිලිවලට ඇතුළත් කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කර නොමැති බවත්, එවැනි සැපයුම්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ද කිසිදු පියවරක් ගෙන නොමැති බවත් විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.