kuliyapitiya-infant-found-puppies

කුලියාපිටිය, දිවියාවල හන්දියේ පිහිටි වෙළෙඳසැලකට අයත් මඩුවක් තුළ ඊයේ (29) දින සිඟිති බිළිඳකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. දඩාවතේ යන බැල්ලියක විසින් එම මඩුවේ දමා සිටි බලු පැටවුන්ට ආහාර ලබාදීමට ගිය අවස්ථාවක මෙම සිඟිති මළ සිරුර දැක ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. 




දින පහක් පමණ වයසැති මෙම බිළිඳා, මියගොස් සිටියදී සොයා ගන්නා විටත්, පාද දෙකක් සහ එක් අතක් නොමැතිව සිට ඇති අතර, අතහැර දමා තිබූ ස්ථානයේදී සතුන් විසින් ඒවා කා දමන්නට ඇති බවට පොලීසිය සැක පහළ කරයි. කිසියම් ස්ථානයක අතහැර දමා ගොස් තිබූ මෙම බිළිඳා බැල්ලියක විසින් රැගෙන විත් මඩුවට දමා ඇති බවට පොලිසිය වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.

සිද්ධිය පිළිබඳව පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් අනතුරුව, කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක ආර්.එම්.යූ. රත්නායක මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් සිද්ධි ස්ථානයට පැමිණ ඇත. එහිදී බිළිඳාගේ මළ සිරුර පොලිස් භාරයට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා වෙත ඊයේ සවස භාර දී තිබේ. මේ වන විටත්, මෙම බිළිඳා ප්‍රසූත කළ මව පිළිබඳව කිසිදු තොරතුරක් පොලීසියට අනාවරණය වී නොමැති බවද වාර්තා වේ.