kandy_district_landslide_injures_three

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර හුන්නස්ගිරිය ප්‍රදේශයේ නිවාස දෙකක් නාය යෑමට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ඊයේ (17) සවස් කාලයේ සිට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.




මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ, මෙම නායයෑම සුරක්ෂිත මධ්‍යස්ථානයක් ආසන්නයේ සිදු වූ බැවින් එහි ආරක්ෂිතව සිටි පුද්ගලයින් 90 දෙනෙකු රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය වෙත තාවකාලිකව මාරු කිරීමට පියවර ගත් බවයි.

පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර මහියංගණය මාර්ගයට ගල් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් එම මාර්ගය භාවිත කිරීම හැකිතාක් සීමා කරන ලෙසත්, රාත්‍රී කාලයේදී එම මාර්ගය භාවිතයෙන් වළකින ලෙසත් රණවීර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි. එම මාර්ගය භාවිතා කරන්නේ නම් ගල් සහ පස් කණ්ඩි කඩා වැටීම් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ඒ මහතා අවධාරණය කළේය.

kandy_district_landslide_injures_three

kandy_district_landslide_injures_three