Mahamaya Girls School Closed Landslide Risk

නාය යෑමේ අවදානමක් හේතුවෙන් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇත.




පසුගිය 16 වැනි දින විවෘත කළ මහාමායා බාලිකා විද්‍යාලය වසා දැමීමට හේතුව වී ඇත්තේ පාසලට ඉහළින් පිහිටි රජපිහිල්ල මාවතේ ස්ථාන කිහිපයක නාය යෑමේ අවදානමක් පැවතීම බව විදුහල්පති ශෂිකලා සේනාධීර මහත්මිය පැවසුවාය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් රජපිහිල්ල මාවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව, පවතින වැසි සහිත කාලගුණයත් සමඟ පාසලට ඉහළින් ඇති ප්‍රදේශයේ නාය යෑමේ අවදානමක් පවතින බවට දැනුම් දී තිබේ.




මහාමායා බාලිකා විද්‍යාලයට ඉහළින් රජපිහිල්ල මාවත දක්වා විහිදී ඇති කඳුකර ප්‍රදේශයේ හෝටල් සහ නිවාස රැසක් පිහිටා ඇති අතර, නාය යෑමක් සිදුවුවහොත් එම ගොඩනැගිලි ද පාසල් ගොඩනැගිලි මතට කඩා වැටීමේ අවදානමක් මතුව ඇත.