aiya-malo-who-switched-hotels-and-engaged-in-drug-trafficking-was-caught-with-drugs-worth-140-million-rupees

 රුපියල් කෝටි දහහතරකට ආසන්න වටිනාකමකින් යුත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. සුඛෝපභෝගී හෝටල් කාමර සහ නිවාස අධික කුලී පදනම මත ලබා ගනිමින්, ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.



මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 56ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 212ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 04යි ග්‍රෑම් 116ක් සොයාගෙන ඇති අතර මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වූවක් බවට සැක කෙරේ. රාගම කඩවත පාර සහ මොරටුව මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් වයස අවුරුදු 43 සහ 48 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව පොලිසිය තහවුරු කරයි.




කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එස්.පී.බී. අත්තනායක මහතාට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම මෙහෙයුම ආරම්භ කර ඇත. ඒ අනුව කොළඹ 06, වැල්ලවත්ත ඩබ්ලිව්. ඒ. ද සිල්වා මාවතේ පිහිටි කුලියට ගත් සුඛෝපභෝගී නිවසක් වටලා එහි සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 116ක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත විමර්ශන කණ්ඩායම කඩවත දලුවපිටිය ප්‍රදේශයට යොමු වී ඇත. එහිදී දලුවපිටිය මිහිඳු මාවතේ හෝටලයක රැඳී සිටි සැකකරුගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රධාන මත්ද්‍රව්‍ය තොගය වන කොකේන්, අයිස් සහ හෙරොයින් තොගය සොයාගෙන ඇත්තේ ඔහු සන්තකයේ තිබියදීය.




මෙම සැකකරුවන් දෙදෙනා තමන්ගේ ස්ථිර පදිංචි නිවාසවල රැඳී නොසිට, මෙලෙස සුඛෝපභෝගී හෝටල් සහ නිවාස කුලියට ගනිමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින ප්‍රධාන මොළකරු කවුරුන්ද යන්න සහ ජාලයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සොයා ගැනීම සඳහා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කලිඳු ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.