
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ගොවි මහතෙකු අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස පහර දී, අසත්‍ය චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) තීන්දුවක් ලබා දුන්නේය. එම නිලධාරීන් විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්‍ෂ නවයක වන්දියක් වින්දිත ගොවි මහතාට ගෙවිය යුතු බවට එහිදී නියෝග කෙරිණි.
නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි විවාහක දෙදරු පියෙකු වන ටී. එම්. ලක්‍ෂ්මන් තෙන්නකෝන් මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි. 2020 වසරේ ජුනි මස 01 වැනිදා දහවල් 12.00ට පමණ ඔහු යතුරුපැදියෙන් සිය ගොවිපළ වෙත ගමන් කරමින් සිටියදී පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දී ඇති අතර, පසුව අභූත චෝදනා නඟා තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම ක්‍රියාවලිය තුළින් අදාළ ගොවි මහතාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
මෙලෙස වන්දි ගෙවීමට නියම වූයේ එවකට නොච්චියාගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයතිලක, අනුරාධපුර කොට්ඨාස අපරාධ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. එම්. එස්. සී. රත්නායක, පොලිස් සැරයන් රත්නායක, පොලිස් සැරයන් අසේල (17176) සහ පොලිස් කොස්තාපල් බණ්ඩාර යන නිලධාරීන් පස්දෙනාටය.
පෙත්සම්කාර ගොවි මහතා වෙනුවෙන් නීතිඥ අරින්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මෙනෙවිය කරුණු දැක්වුවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval