ajith-nivard-agrees-to-pay-rs-184-crore-within-3-months-and-withdraws-the-case

 හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පැවති ග්‍රීක බැඳුම්කර නඩුව, මාස තුනක් ඇතුළත රුපියල් කෝටි 184 කට අධික වන්දි මුදලක් ගෙවීමේ කොන්දේසිය මත ඉල්ලා අස්කර ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. අදාළ මුදල නියමිත කාල සීමාව තුළ මහ බැංකු ගිණුමට බැර කළ යුතු බවට පැනවූ කොන්දේසිය මත 2025.12.10 දින එම අධිචෝදනාව ඉල්ලා අස්කර ගෙන තිබේ.



අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයට අනුව, මෙම නඩුවේ පළමු විත්තිකරු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා දූෂණ විරෝධී පනතේ 67 (1) වගන්තිය යටතේ සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව, මෙම වරද හේතුවෙන් රජයට සිදුවූ අලාභය ලෙස ගණනය කර ඇති රුපියල් 1,843,267,595.65 (එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැටහත්දහස් පන්සිය අනූපහයි ශත හැට පහක) ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ගිණුමට බැර කිරීමට නියම කර ඇත.




මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබා දී ඇති අතර, නියම කරන ලද මාස තුනක කාලසීමාව තුළ අදාළ සම්පූර්ණ මුදල තැන්පත් නොකළහොත් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය ප්‍රකාරව ඔහුට එරෙහිව නැවත අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම අවධාරණය කරයි.

තවද, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහිව තිබූ චෝදනා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය යටතේ ඉල්ලා අස්කර ගත් බැවින් මහාධිකරණය විසින් ඔවුන් මුදා හැර තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තා පවසන පරිදි මෙම විත්තිකරුවන් 'නිදොස්' කර නොමැති බවත්, තාක්ෂණිකව නඩුව ඉල්ලා අස්කර ගැනීමක් පමණක් සිදුවූ බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙයි.