‘හෙළයේ ගීත කෝකිලාවිය’ ලෙසින් විරුදාවලිය ලැබූ, මෙරට අද්විතීය ගායන ශිල්පිනී දේශමාන්‍ය ලතා වල්පොළ මහත්මිය අද (27) අභාවප්‍රාප්ත විය. වසර හැත්තෑවකට අධික කාලයක් පුරා මෙරට ගීත ක්ෂේත්‍රය සිය මියුරු හඬින් පෝෂණය කළ ඇය මිය යන විට 91 වන වියේ පසුවිය. ඇය චිත්‍රපට 600කට අධික සංඛ්‍යාවක පසුබිම් ගීත ගායනය කර තිබෙන්නියකි.
1934 වසරේ නොවැම්බර් මස 11 වන දින ගල්කිස්ස ප්‍රදේශයේදී උපත ලැබූ ලතා වල්පොළ මහත්මියගේ මුල් නාමය වූයේ රීටා ජෙනිවිව් ප්‍රනාන්දු ය. ජෝසප් ප්‍රනාන්දු සහ එළිසබෙත් මියුරියල් යුවළගේ දරුවන් පස් දෙනාගෙන් කෙනෙකු වූ ඇය, දෙහිවල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවාය. කුඩා කල සිටම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දරමින් ඇය සිය ගායන ප්‍රතිභාව මනාව ඔප් නංවා ගත්තාය.
වයස අවුරුදු 12 තරම් ළාබාල වියේදීම කලා ලොවට පිවිසි ලතා වල්පොළ මහත්මිය, 1946 වසරේදී සී.ඒ. ෆොන්සේකා මහතාගේ මඟපෙන්වීම යටතේ රේඩියෝ සිලෝන් (Radio Ceylon) හි ගායන ශිල්පිනියක ලෙස සිය වෘත්තීය ගමන ඇරඹුවාය. ඉන් අනතුරුව, 1947 දී වින්සන්ට් ද අල්විස් මහතාගේ සංගීත නිර්මාණයකට අනුව ඇය ගැයූ "කඳුළු දෙනෙතේ වැහෙනා" ගීතය ඇයගේ ප්‍රථම ඒක පුද්ගල ගීතය ලෙස ඉතිහාසයට එක් විය.
සිංහල සිනමාවේ පසුබිම් ගායනයට ඇය ප්‍රවිෂ්ට වූයේ 1953 වසරේදී තිරගත වූ 'එදා රෑ' චිත්‍රපටය හරහා ය. 'සිංහල සිනමාවේ ගී රාජිනිය' ලෙසින් විරුදාවලිය ලත් ඇය, ඉන් පසුව චිත්‍රපට 600කට අධික සංඛ්‍යාවකට සිය මියුරු හඬින් දායක වී ඇත. ප්‍රේමසිරි කේමදාස වැනි ප්‍රවීණ සංගීතවේදීන් ඇතුළු බොහෝ නිර්මාණකරුවන්ගේ ගීත රැසකට දායක වූ ඇය, දස දහසකට අධික ගීත සංඛ්‍යාවක් ගායනා කර ඇති බව සඳහන් වේ.
ඇය 1959 වසරේදී ප්‍රවීණ ගායක ධර්මදාස වල්පොළ මහතා සමඟ විවාහ වූ අතර, එතැන් පටන් ලතා වල්පොළ නමින් ප්‍රකට විය. සිව් පුතුන්ගේ සහ එක් දියණියකගේ ආදරණීය මවක වූ ඇය, කලා ක්ෂේත්‍රයට දැක්වූ අනුපමේය සේවය අගයමින් රාජ්‍ය සම්මාන රැසකින් ද පිදුම් ලැබුවාය. ඒ අනුව, 2005 වසරේදී කලාශූරී සම්මානයෙන් ද, 2017 වසරේදී දේශමාන්‍ය සම්මානයෙන් ද රජය විසින් ඇයව ගෞරවයට පාත්‍ර කර ඇත. එමෙන්ම, සරසවිය සම්මාන හතරක් ඇතුළු දෙස් විදෙස් සම්මාන රාශියක් දිනාගත් ඇය, 2022 වසරේදී පැවති සිලෝන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී යාවජීව සම්මානයෙන් ද පිදුම් ලැබීම විශේෂත්වයකි.