
කැබිතිගොල්ලෑව - හොරොව්පොතාන ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු මාර්ගයේ දක්කාගෙන ගිය මී ගව රංචුවක ගැටී සිදුවූ අනතුරක්, බෝක්කු බැම්මක ගැටීමෙන් සිදුවූවක් ලෙස මවා පා අපරාධය වසන් කිරීමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිසියට අනුයුක්තව සේවය කළ,හොරොව්පොතාන රස්නකවැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එම්. මංජුල නිශාන්ත රත්නායක නම් තිදරු පියෙකි. සිද්ධිය වූ දින සැරයන්වරයා රාජකාරි නිමවා යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටියදී සැකකරුවන් විසින් ප්‍රධාන මාර්ගයේ අනාරක්ෂිත ලෙස දක්කාගෙන ගිය මී ගව රංචුවේ ගැටී අනතුරට ලක්ව ඇත.
අනතුර සිදුවීමත් සමඟ සැරයන්වරයා සිහිසුන්ව ඇද වැටී ඇති අතර, මනුෂ්‍යත්වය පසෙක ලූ සැකකරුවන් තිදෙනා වහා ක්‍රියාත්මක වී සිහිසුන් නිලධාරියා සහ ඔහුගේ යතුරුපැදිය අනතුර වූ ස්ථානයේ සිට මීටර් දහයක් පමණ දුරින් පිහිටි බෝක්කුවක් අසලට ඇදගෙන ගොස් දමා තිබේ. ඔවුන් මෙලෙස සිදු කර ඇත්තේ සැරයන්වරයාගේ යතුරුපැදිය බෝක්කුවේ ගැටී අනතුර සිදුවූ බවට අඟවා සැබෑ සිදුවීම සහ තමන් සතු වගකීම වසන් කිරීමේ චේතනාවෙන් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මාර්ගයේ ගමන් ගත් පිරිවෙන් ගුරුවරයෙකු මෙම සිදුවීම දැකීම නිසා සැකකරුවන්ගේ සැලසුම ව්‍යාර්ථ වී ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පලා යෑමට උත්සාහ දරා ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කර ඇත්තේ මී ගවයින්ගේ ගැටී සිහිසුන් වූ අවස්ථාවේදීම සැරයන්වරයා රෝහල්ගත කළේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබූ බවයි. අනතුර වසන් කිරීමට උත්සාහ දැරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනා කැබිතිගොල්ලෑව වැඩබලන මහේස්ත්‍රාත් දිලීෂියා දිසානායක මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කෙරිණි.