it-was-difficult-for-the-children-to-get-royal-visakha-i-wont-be-coming-back-here-again-im-doing-well-in-aussie-susanthika

ශ්‍රී ලංකාවට ඔලිම්පික් රිදී පදක්කමක් ගෙන දුන් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ සිය දරුදෙන්නා සමග ඕස්ට්‍රෙලියාවේ පදිංචියට ගොස් තිබෙන අතර ඇය එරට ක්‍රීඩා සමාජයක පුහුනුකාරියක ලෙස සේවය කරන්නීය. කලකට පසු ලංකාවට නිවාඩුවකට පැමිණි ඇය ක්‍රීඩා මාධ්‍යවේදීන් හමුවී සිදුකළ අදහස් දැක්වීමක් පහත පරිදිය.



"දැන් මටත් අවුරුදු පනහයි. දැන් හතලිස් ඇඳිරියත් ඇවිල්ලා, තව ටික දවසක් යනකොට ඇස් පෙනීමත් දුර්වල වෙයි. එතකොට මම ඉගෙන ගත්ත දෙයින් ඵලකුත් නෑනේ. කවුරුත් ගත්ත ප්‍රයෝජනයකුත් නෑ. එතකොට මගේ ක්‍රීඩාවෙන් ඇති වැඩකුත් නෑ. ඒ නිසා මම බැලුවේ මගේ දරුවො දෙන්නත් අරගෙන රටකට ගිහිල්ලා, මම දන්න දෙයින් දරුවන්ට පුහුණුවීම් (Coaching) කරන්න.

ඉතින් මට එහේ ලොකු වටිනාකමක් තියෙනවා. මම ලබා ගත්ත අත්දැකීම්, මම දන්න දේවල්, තරගයකට පෙර සූදානම, ජයග්‍රහණයෙන් පසු ඒ ජීවත්වෙන පසුබිම... මේ හැමදේම මට පුළුවන් එහේ දරුවන්ට කියලා දෙන්න. මම හරියාකාරව ඉගෙන ගත්ත දේවල් ඒ දරුවන්ට ලබා දෙන්න මට එහේදි අවස්ථාව ලැබිලා තියෙනවා.




එහේ ඉන්න ශ්‍රී ලාංකික දරුවොත් කැමතියි මාත් එක්ක ඇවිල්ල පුහුණුවීම් කරන්න. ගොඩක් අය දැන් ඒක පටන් අරන් තියෙනවා. මට අවස්ථාවක් ලැබුණොත් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරන්න හෝ ඔවුන්ව දියුණු කරන්න මම ලෑස්තියි. (නමුත්) දැන්නම් මම හිතන්නේ නෑ ආයේ ලංකාවට එන්න ඕනේ කියලා. මොකද මමත් අම්මා කෙනෙක්නේ. මම මගේ දරුවෝ දෙන්නා තනියෙන් හදා ගන්නේ. ඕනම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා ගැනනේ හිතන්නේ. ඉතින් මමත් ආසයි මගේ දරුවෝ දෙන්නා ගැන හිතන්න. මොකද මගේ අම්මයි තාත්තයි සතුටු වුණේ මම ලෝකෙ දිනපු විදිහ දැකලා. මම ඒ දෙන්නට සැලකුවා, ඒ නිසා ඔවුන් බොහොම සතුටින් මැරිලා ගියා.

ඉතින් මමත් කැමති මගේ දරුවෝ දෙන්නා කවදා හරි ලෝකයක් දිනනවා දකින්න. ගැහැනියක් හැටියට, ඒ දෙන්නා හොඳට ඉගෙන ගෙන, මගේ ආභාසය අරගෙන, මම ආව ගමන දැකලා, මම වයසට ගියාම මට සලකයි කියලා මම විශ්වාස කරනවා. මම මගේ දුවව විශාඛාවට දාගන්න මාස හයක් රස්තියාදු වුණා. මම මේ රටට ලෝක පදක්කම් හතරක් ගෙනල්ලා තියෙද්දිත්, මගේ පුතා රෝයල් එකට (1 වසරට) දාගන්න බැරුව මාස තුනක් හිටියා. මම දේශපාලනයට ආවේ දන්න දේශපාලනයක් නිසා නෙවෙයි, ක්‍රීඩාව හරහා රටට සේවයක් කරන්න.


ඒ වුනාට ඉතිං පටු අරමුණු තියෙන උදවියගේ වැඩ නිසා මට වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ, දුන්නෙත් නෑ.

මිනිස්සු හරි කුහකයි, ඉරිසියයි. ඒක නිසා මම ඒ දේවල් බලනවාට වඩා මටම කියල පාරක් (Path one) තියෙනවා. මම කාටවත් කරන්න බැරි දෙයක් කළා. මම ආසියාවටම එකයි. මම මගේ රට ලෝකෙට ගෙනිච්චා. මට ඒ ගැන හරි ආඩම්බරයි. ඒ නිසා මගේ රටේ මිනිස්සු පිටරටවලත් ඉන්නවා, ඒ ගොල්ලෝ මට ආදරෙයි. ඒ ගොල්ලෝ දන්නවා ලෝකේ මට තියෙන වටිනාකම සහ තැන. ඒකත් එක්ක මගේ දරුවෝ දෙන්නට හොඳ තැනක් හදලා දීල ජීවත් වෙන එක තමයි ඕනම අම්මා කෙනෙක්ගේ ප්‍රාර්ථනාව. ඒ අහිංසක ප්‍රාර්ථනා මම අත ඇර ගන්න ආස නෑ. මොකද මට දැන් 50යි, මටත් තව සෙල්ලම් දාන්න තියෙන්නේ අවුරුදු පහක් දහයක් විතරයි. එච්චර කල්වත් අපි ජීවත් වෙයිද කියලා කවුද දන්නේ?"