announcement-regarding-the-rantambe-mahiyangana-transmission-system

 දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් දැඩි හානි සිදුවූ රන්ටැඹේ - මහියංගනය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කර, එළඹෙන ඉරිදා (07) වන විට යළි විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.



පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රන්ටැඹේ සිට මහියංගනය දක්වා දිවෙන කිලෝ වෝල්ට් 132ක අධිවෝල්ටීයතා සම්ප්‍රේෂණ පද්ධතියට අයත් කුළුණක් සම්පූර්ණයෙන්ම කඩා වැටී විනාශ වූ අතර, එහි විදුලි රැහැන් පද්ධතියට ද බරපතළ හානි සිදු විය.




මෙම හදිසි බිඳවැටීම හේතුවෙන් මහියංගනය ප්‍රදේශය ඇතුළුව නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල විදුලි පාරිභෝගිකයන්ට සැපයුම අඩාල වීමේ ගැටලුවට මුහුණ දීමට සිදු විය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වහාම මැදිහත් වී, කිලෝ වෝල්ට් 33ක තාවකාලික විදුලි රැහැන් පද්ධතියක් භාවිතයෙන් රෝහල් සහ ජල පොම්පාගාර වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා විදුලිය ලබා දීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම පවතින ධාරිතා ගැටලු මත ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි, මුර ක්‍රමයට පැය කිහිපයක් බැගින් විදුලිය ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළේය.




මේ අතර විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, කුළුණක් කඩා වැටීමෙන් හානි සිදු වූ බෝවතැන්න ජල විදුලි බලාගාර පරිශ්‍රය ද එහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.