what-did-putin-do-when-he-went-to-india

 රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර නවදිල්ලියේදී පැවති හමුව, 2022 වසරේ යුක්රේන යුද්ධය ආරම්භයෙන් පසු පුටින් ඉන්දියාවේ සිදු කළ පළමු නිල සංචාරය ලෙස ඉතිහාසයට එක් විය. බටහිර රටවල් විසින් රුසියාව රාජ්‍ය තාන්ත්‍රිකව හුදකලා කිරීමට උත්සාහ දරන පසුබිමක, ඉන්දියාව විසින් රුසියානු නායකයා වෙනුවෙන් දැක්වූ උණුසුම් පිළිගැනීම ලෝක අවධානය දිනා ගැනීමට සමත් වූ අතර අගමැති මෝදි ගුවන් තොටුපළටම ගොස් පුටින්ව වැළඳ ගනිමින් පිළිගැනීම දෙරට අතර පවතින දැඩි මිත්‍රත්වය විදහා දැක්වූ සුවිශේෂී සිදුවීමක් විය.






මෙම සංචාරය පුරාම ඉන්දියාව ඉහළම රාජ්‍ය ගෞරව පුටින් වෙත පිරිනැමූ අතර, ජනාධිපති මන්දිරයේදී පැවති උත්සවාකාර පිළිගැනීම සහ කාලතුවක්කු වෙඩි මුර ආචාරය ඊට සාක්ෂි දැරීය. රුසියානු මාධ්‍ය වාර්තා කළේ කාමර 340කින් යුත් මාලිගාවක රුසියානු නායකයාට ලැබුණු මෙම පිළිගැනීම බටහිර බලපෑම් නොතකා ඉන්දියාව සිය ස්වාධීන විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරන බවට ප්‍රබල පණිවිඩයක් ලබා දුන් බවයි.

දෙරට අතර පවතින "විශේෂ සහ වරප්‍රසාද ලත් උපායමාර්ගික හවුල්කාරිත්වය" තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථික සහයෝගීතාව, ඛනිජ සම්පත් සැපයුම් දාම සහ ඖෂධ නිෂ්පාදනය සම්බන්ධ වැදගත් ගිවිසුම් කිහිපයකට මෙහිදී අත්සන් තැබුණි. විශේෂයෙන්ම රුසියාවේ කලුගා ප්‍රදේශයේ රුසියානු-ඉන්දියානු ඖෂධ නිෂ්පාදන කම්හලක් ඉදි කිරීමට එකඟතාව පළ වූ අතර, "රුසියා ටුඩේ" (Russia Today) නමැති ක්‍රෙම්ලින් පාලනය යටතේ පවතින රූපවාහිනී ජාලය ඉන්දියාව තුළ දියත් කිරීම ද සිදු විය.

කෙසේ වෙතත්, මෙම සංචාරයේදී ආරක්ෂක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැවැන්ත ගනුදෙනු සිදු නොවූ අතර නවීනතම ප්‍රහාරක ජෙට් යානා හෝ ගුවන් ආරක්ෂක පද්ධති මිලදී ගැනීම පිළිබඳව නිල නිවේදන නිකුත් නොකෙරිණි. යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවේ ආරක්ෂක සම්පත් සීමා වී තිබීම සහ දැනට පවතින ඇණවුම් ලබා දීමේ ප්‍රමාදයන් මීට හේතු විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.




තෙල් වෙළෙඳාම මෙම සාකච්ඡාවල කේන්ද්‍රීය මාතෘකාවක් වූ අතර, ඇමරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයෙන් එල්ල වන තීරු බදු පීඩනය හමුවේ වුවද ඉන්දියාවට අඛණ්ඩව බාධාවකින් තොරව තෙල් සැපයීමට රුසියාව සූදානම් බව ජනාධිපති පුටින් අවධාරණය කළේය. එසේ වුවද, තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අලුත් නිශ්චිත ගිවිසුමක් ප්‍රකාශයට පත් නොකිරීම තුළින් පෙනී යන්නේ ඉන්දියාව වොෂින්ටනය සහ මොස්කව් අතර සියුම් සමබරතාවක් පවත්වා ගැනීමට උත්සාහ කරන බවයි.

දෙරට අතර වෙළෙඳාම දැනට පවතින ඩොලර් බිලියන 68.72 මට්ටමේ සිට ඩොලර් බිලියන 100 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් පස් අවුරුදු ආර්ථික රාමුවක් පිළිබඳව ද නායකයන් සාකච්ඡා කළහ. නාවික ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කරමින් නැව් තැනීම සහ ධ්‍රැවීය මුහුදු කලාපවල (Polar waters) කටයුතු කිරීම සඳහා ඉන්දීය නාවිකයන් පුහුණු කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම ද මෙහිදී සිදු විය.

නිල සාකච්ඡාවලට අමතරව, නායකයන් දෙපළ අතර පැවති නිල නොවන රාත්‍රී භෝජන සංග්‍රහය මෙම සංචාරයේ වැදගත්ම අවස්ථාවක් ලෙස රුසියානු විදේශ ප්‍රතිපත්ති උපදේශක යූරි උෂකොව් හඳුන්වා දුන්නේය. වඩාත් සංවේදී සහ හදිසි දේශපාලන කරුණු සාකච්ඡා කෙරුණේ මෙම පෞද්ගලික හමුවේදී බවත්, සැබෑ දේශපාලන තීරණ ගනු ලබන්නේ මෙවැනි අවස්ථාවලදී බවත් ඔහු සඳහන් කළේය.