15-fish-export-centers-destroyed-in-sri-lanka

 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ගංවතුර ගැලීම් නිසා මෙරට මත්ස්‍ය අපනයන කර්මාන්තයේ නියුතු ප්‍රධාන පෙළේ මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන පහළොවක් පමණ දැඩි විනාශයකට ලක්ව ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.



ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පසුගියදා සීදුව ප්‍රදේශයේ පිහිටි නිවා මධු නදි සහ බ්ලූ ලයින් ඕසන් ඇතුළු ආපදාවට ලක්වූ මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.




අඩි 5ත් 6ත් පමණ උසට ගංවතුර ගලා ඒම හේතුවෙන් මෙම කර්මාන්තශාලා ජලයෙන් යටවී ඇති අතර, විදුලි සැපයුම බිඳ වැටීම නිසා එහි ඇති ශීතාගාර පද්ධති ද අක්‍රිය වී විශාල හානියක් සිදුව ඇති බව අදාළ ආයතන හිමිකරුවන් විසින් අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරමින් මෙරටට විශාල විදේශ විනිමයක් උපයා දෙන මෙම ආයතන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විදුලි බලය කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී විදුලිබල මණ්ඩලයට සහ ලෙකෝ සමාගමේ ඉහළ නිලධාරීන් වෙත දැනුම් දීමට කටයුතු කර ඇත.