
දිවයින පුරා බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම වෙනුවෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් මෙම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඊට අදාළ විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත. හදිසි ආපදා තත්ත්වයත් සමග මතුව ඇති ජාතික ව්‍යසනයෙන් මිදීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර,
අදාළ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරගැනීම සඳහා එහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළ ආකාරයට අනුමත වූ රුපියල් බිලියන 50ක මුදල කොටස් දෙකක් යටතේ වෙන් කර ඇත. ඒ අනුව රුපියල් බිලියන 20ක මුදලක් ආපදා සහන කටයුතු සඳහාත්, රුපියල් බිලියන 30ක මුදලක් සංවර්ධන සහායන් සඳහාත් වෙන් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ අතර අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී විශේෂ ඉල්ලීමක් සිදු කළේය. ආපදාව හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස විපක්ෂ නායකවරයා එහිදී රජයෙන් ඉල්ලා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval