baduraliya-teen-killed-crash

බදුරලිය, කළුගල හන්දිය ආසන්නයේදී පසුගිය 19 වන දින සිදුවූ මාර්ග අනතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියක පසුපස ගමන් කරමින් සිටි ඔහු කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, යතුරුපැදිකරු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.




මියගිය සිසුවා බදුරලිය, ඉළුක්පත, ඩෙල්කිට් වත්ත ලිපිනයේ පදිංචි විජයකුමාර් දිලාන් (17) බව හඳුනාගෙන තිබේ. ඔහු බදුරලිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ බදුරලිය පොලිස් වසමේ කළුගල හන්දිය අසලදීය. බදුරලිය දෙසින් අගලවත්ත දෙසට ධාවනය වෙමින් තිබූ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක අගලවත්ත දෙසින් බදුරලිය දෙසට පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. යතුරුපැදිය ධාවනය කළ 21 හැවිරිදි නවරාජා කසුන් නමැත්තා තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. කැබ් රථයේ රියදුරු ද බදුරලිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොලිසිය වාර්තා කරයි.




බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න වැදිසිංහ මහතාගේ උපදෙස් මත බදුරලිය පොලිසියේ රථවාහන අංශය මේ පිළිබඳව පුළුල් විමර්ශන පවත්වයි.