18-year-old-youth-kidnapped-on-way-to-interview

හෝමාගම මූලස්ථාන පොලිසිය වාර්තා කරන්නේ, අගහරුවාදා (23) දින සවස මාකුඹුර ප්‍රදේශයෙන් 18 හැවිරිදි තරුණයකු පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බවයි.




දියතලාව, කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණයා, කොළඹ පෞද්ගලික ආයතනයක රැකියා සම්මුඛ පරීක්ෂණයක් සඳහා පෙරේදා (23) පැමිණ තිබුණි. ඒ සඳහා ඔහු 22 දින රාත්‍රියේ අධිවේගී මාර්ගය ඔස්සේ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ළඟා වී ඇත.

අනතුරුව, මාකුඹුරේ සිට නුගේගොඩ පිහිටි තම හිතවතකුගේ නිවස වෙත යාම සඳහා තරුණයා ත්‍රීරෝද රථයකට ගොඩ වී තිබේ. ගමන අතරතුර, එම ත්‍රීරෝද රථයේ රියැදුරුගේ මිතුරකු බව කියන පුද්ගලයකු රථයට එක් වී ඇති අතර, තවත් මඳ දුරක් ගමන් කළ පසු මිතුරන් බව පවසන පුද්ගලයන් දෙදෙනකුද රථයට ගොඩ වී තිබේ. අනතුරුව, එම පිරිස විසින් 18 හැවිරිදි තරුණයා පැහැරගෙන යාමට කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.




මෙලෙස පැහැරගෙන යමින් සිටියදී, තරුණයා පොලිස් මාර්ග බාධකයක් දැක මහ හඬින් කෑගසා තිබේ. එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් වහාම තරුණයා බේරා ගැනීමට කටයුතු කළද, පැහැරගැනීමට සම්බන්ධ පුද්ගලයන් එම අවස්ථාවේදී පළා ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා හෝමාගම මූලස්ථාන පොලිසිය වෙත භාරදීමෙන් පසු, එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ලලිත් මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන ආරම්භ කර දිනක් තුළ සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.



අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලබේ, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ සහ කිරුළපන, පොල්කේන්ගොඩ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 46ත් 50ත් අතර පසුවන සිව්දෙනෙකි. ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින පුද්ගලයන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සැකකරුවන් දිගු කලක සිට මෙලෙස පුද්ගලයන් පැහැරගෙන මුදල් ලබාගැනීමේ ක්‍රියාවන්හි නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවට සිද්ධියට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙරේදා (24) දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.