කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා විසින් නීතිඥවරියක් ඇතුළු පිරිසකට පරුෂ වචනයෙන් බැණ වදින හඬ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් පවතී. යම් ගැටළුවක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට පැමිණි පිරිසකට සහ නීතිඥවරියකට නගරාධිපතිවරයා ඉතා අශෝභන ලෙස බැන වදින ආකාරය එම හඬ පටය ශ්‍රවණය කිරීමේදී පැහැදිලි වේ.
තමන් එම ස්ථානයේ බලධාරියා බවත්, නීතිඥවරුන්ට එම ස්ථානයට පැමිණ තම බලය පෙන්වීමට හෝ පාලනය කිරීමට අවස්ථාවක් නොමැති බවත් පවසමින් ඔහු එම පිරිසට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ. තමන් නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු ලෙස හඳුන්වා දෙන ජයලාල් මහතා, නීතිඥවරුන්ට තමන්ට බලපෑම් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව අවධාරණය කරමින්, "සුද්ද සිංහලෙන් මම මේ කියන්නේ" යනුවෙන් පවසමින් ඉතා ආවේගශීලීව හැසිරී ඇත.
නගර සභා පරිශ්‍රය අධිකරණයක් නොවන බව පවසමින් නීතිඥවරිය ඇතුළු පිරිසට වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ඔහු තවදුරටත් නියෝග කර තිබේ.
මේ ගැන අදහස් දක්වමින් සජබ මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා දන්වා සිටියේ නගරාධිපති වරයෙකු 'නිල නොලත් මහේස්ත්‍රාත්' ලෙස නම් කිරීම නිවැරදි වුවත් ඔහුට අධිකරණයට බලපෑම් කළ හැකි බලයක් නැති බවයි. එය දෙවන කාන්ඩයේ නිල නොලත් මහේස්ත්‍රාත් පදවියක් බවයි.
කෙසේ වෙතත්, හඬ පටයක් හේතුවෙන් රන්ජන් ජයලාල් මහතා ආන්දෝලනයට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක්ද දැඩි කතාබහට ලක්විය.
ලංකා විදුලි සේවක සංගමයේ සාමාජිකයෙකු සමඟ ඇති වූ එම දුරකථන සංවාදයේ හඬ පටයක් ලංකා විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමය විසින් පසුගියදා මාධ්‍ය වෙත මුදා හැර තිබුණි. එම සංවාදය අතරතුරදී "තමන් මරන්න බයත් නැහැ, මැරෙන්න බයත් නැහැ" යනුවෙන් පවසමින් ඉතා ආවේගශීලී ප්‍රකාශ සිදු කළ ඔහු, නරීන්ට පරිස්සම් වී සිටින ලෙසත් තම ඉතිහාසය කියවා බලන ලෙසත් අනතුරු අඟවා තිබුණි.
ආණ්ඩු බලය ලබා ගත්තේ කිසිවෙකුට දණ ගැසීමට නොවන බවත්, ලක්ෂයක් මරා හෝ රට බේරා ගන්නා බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි. ලබාගත් බලය නැවත ලබා නොදෙන බවට ජයලාල් මහතා එහිදී අවධාරණය කළ අතර, එම දුරකථන සංවාදය තුළදී අදාළ විදුලි සේවක සංගම් සාමාජිකයා විසින්ද නගරාධිපතිවරයාට එරෙහිව බරපතල චෝදනා එල්ල කර තිබුණි.
ආන්දෝලනය ඇති කළ හඬ පටය මෙතැනින් click here

Comments
Post a Comment
Your comment will be visible after approval