දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ ආරක්ෂිතව රඳවා සිටි මෙරට සිටි එකම කහ ඇනකොන්ඩා පැටවා කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් ඇත.
මෙම අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සත්ත්වෝද්‍යාන පාලනාධිකාරිය විසින් පසුගිය 07 වනදා දෙහිවල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
මීට දින කිහිපයකට පෙර කාන්තාවක් විසින් නීතිවිරෝධී ලෙස විදෙස් රටක සිට මෙරටට රැගෙන ආ සර්ප විශේෂ 04කට අයත් සර්පයින් 06 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර,
පසුව එම සතුන් දෙහිවල සත්ත්වෝද්‍යානය වෙත භාර දීමට කටයුතු කර තිබුණි.
එලෙස භාර දීමෙන් අනතුරුව සත්ත්වෝද්‍යානයේ උරග උයන තුළ නිරෝධායනය සඳහා යොමු කර සිටියදී මෙම සොරකම සිදුව ඇති අතර, සොරකමට ලක්වූ කහ ඇනකොන්ඩා පැටවා වයස අවුරුද්දක් පමණ වන දිගින් අඩි එකහමාරක් හෝ දෙකක් පමණ වන සතෙකු බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සත්ත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා සඳහන් කළේ සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවත්, මීට අමතරව අදාළ සතුන් භාරව කටයුතු කළ සත්ත්ව භාරකරුට එරෙහිව විනයානුකූලව පියවර ගැනීමට කටයුතු කරන බවත්ය.