3-air-passengers-arrested-in-katunayake-with-christmas-party-goods-worth-rs-86-million

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (26) දින ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු රේගු අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් ලක්ෂ අසූ හයක් (86) වටිනා භාණ්ඩ තොගයක් මෙහිදී සොයාගෙන ඇත.




 මෙම අත්අඩංගුවට ගැනීම, උත්සව සමය ඉලක්ක කරගනිමින් පැමිණීමේ පර්යන්තය ආශ්‍රිතව සිදුකළ විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයකි.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අතරින් එක් අයෙකු ව්‍යාපාරිකයෙකු වන 58 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් දෙදෙනා වයස අවුරුදු 38ක් වන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකු බව රේගුව සඳහන් කරයි.




රේගු නිලධාරීන් විසින් සැකකරුවන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී විශාල භාණ්ඩ තොගයක් සොයාගැනීමට හැකි විය. ඒ අතර විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 220ක් (දුම්වැටි 44,000ක්), විදේශීය මත්පැන් බෝතල් 19ක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව ගෙන්වූ රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කරන කොලැජන් පැකැට් 430ක් සහ තවත් පාවහන් හා විවිධ වෙළඳ භාණ්ඩ රැසක් විය. මෙම සියලු භාණ්ඩ රේගු නිලධාරීන් විසින් භාරයට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.