kandy-nuwara-eliya-landslide-warning-extended

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) ප්‍රකාශ කරන්නේ, පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා කලින් නිකුත් කර තිබූ නායයාම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බවයි.




මේ අනුව, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක් සඳහා, තෙවැනි අදියර යටතේ ජනතාව ඉවත් කර ගැනීමට අදාළ රතු නිවේදන නිකුත් කර ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

එම රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරට මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර, මිණිපේ සහ මැදදුම්බර යන ප්‍රදේශත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රදේශත් අයත් වේ.




මීට අමතරව, දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තිස්පහකට දෙවැනි අදියර යටතේ විමසිලිමත්ව සිටින ලෙසට නිවේදන නිකුත් කර ඇති බවද, සුමින්ද රත්නායක මහතා සඳහන් කළේය.