abu-dhabi-allows-hotel-pets

අබුඩාබි නගරයේ සංචාරක හෝටල් සහ අවන්හල් සඳහා සුරතල් සතුන් ඇතුළත් කර ගැනීමට මෙතෙක් පැවති තහනම ඉවත් කර ඊට අවසර ලබා දෙන නව රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබේ. මෙතෙක් කල් එරට සංචාරය සඳහා එන හා පදිංචිව සිටින විදේශ ජාතිකයින් මෙම තහනම නිසා සීමාවන්ට යටත්ව කටයුතු කර තිබුණි.

මෙම නව සංශෝධනවලට අනුව, සංචාරක බලපත්‍ර සහිත ආයතනවලට බළලුන් සහ බල්ලන් වැනි "සහකාර සතුන්" (companion animals) සඳහා ඉඩ ලබා දීමට හැකියාව ලැබේ. මහජන සෞඛ්‍යය, ආරක්ෂාව සහ සත්ව පාලනය පිළිබඳ 2012 අංක (2) දරන නීතිය යටතේ නිකුත් කරන ලද, 2018 සභාපති තීරණ අංක (4) සඳහා නගර සභා සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෙම සංශෝධන සිදු කර ඇත.




නව මාර්ගෝපදේශ අනුව, අදාළ ආයතන විසින් සතුන් සඳහා විශේෂිත ස්ථාන වෙන් කළ යුතු අතර, ටෙරස්, බැල්කනි සහ එළිමහන් අංගන වැනි බාහිර ප්‍රදේශවලට මෙහිදී මූලිකත්වය ලබා දිය යුතුය. ඊට අමතරව, සෞඛ්‍ය ප්‍රමිතීන්, සත්ව සුභසාධනය සහ අමුත්තන්ගේ පහසුව තහවුරු කළ හැකි නම්, ගෘහස්ථ ප්‍රදේශ (indoor areas) තුළද සතුන්ට ඉඩ ලබා දීමට අවසර ඇත. මීට පෙර අවන්හල් තුළට සතුන් ඇතුළත් කිරීම බොහෝ දුරට තහනම් කර තිබූ අතර, සහතික කරන ලද සේවා සතුන් සඳහා පමණක් ව්‍යතිරේක පැවතුණි.

නගර සභා සේවා මෙහෙයුම් ආධාරක අංශයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ ෆහඩ් අලි අල්ෂෙහි සඳහන් කළේ, මෙම පියවර අබුඩාබි නගරයේ ආගන්තුක සත්කාර ප්‍රමිතීන් ඉහළ මට්ටමක පවත්වා ගනිමින් එහි ඇතුළත් වීමේ ප්‍රතිපත්තිය (inclusivity) පිළිබිඹු කරන බවයි. මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ ජීවත් වීමට වඩාත් සුදුසුම නගරය ලෙස අබුඩාබි ලබා ඇති ජාත්‍යන්තර පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීමට මෙම තීරණය ඉවහල් වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. කෙසේ වෙතත්, තම පහසුකම් සහ පාරිභෝගික අවශ්‍යතා මත පදනම්ව සුරතල් සතුන් භාරගන්නේද යන්න තීරණය කිරීමට හෝටල් සහ අවන්හල් හිමිකරුවන්ට නම්‍යශීලීභාවය ලබා දී ඇත. (ගල්ෆ් නිවුස් ඇසුරිනි)