year-of-the-fire-horse-2026

චීන රාශි චක්‍රයට අනුව, ලබන වසර වන 2026 ‘ගිනි අශ්වයාගේ වර්ෂය’ (Year of the Fire Horse) ලෙස නිල වශයෙන් නම් කර ඇත. චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව යෙදෙන මෙම විශේෂිත වර්ෂය, ග්‍රෙගෝරියානු දින දර්ශණයට අනුව 2026 පෙබරවාරි 17 වන දින ආරම්භ වී 2027 පෙබරවාරි 5 වන දිනෙන් අවසන් වීමට නියමිතය.

චීන ජ්‍යොතිෂය තුළ අශ්වයා ශක්තිය, නිදහස සහ උද්‍යෝගය සංකේතවත් කරන අතර, එය සත්ව රාශි චක්‍රයේ හත්වන ස්ථානය නියෝජනය කරයි.




සාමාන්‍යයෙන් සෑම දොළොස් වසරකට වරක් අශ්ව වර්ෂයක් යෙදුණද, 2026 වසර සුවිශේෂී වන්නේ ගිනි මූලද්‍රව්‍යයේ ආධිපත්‍යය නිසාය. චීන විශ්වාසයන්ට අනුව අශ්වයා ස්වභාවයෙන්ම ගිනි මූලද්‍රව්‍යයට අයත් සත්වයකු බැවින්, 2026 වසරේදී මෙම ගිනි බලපෑම තීව්‍ර වී (doubling effect) අතිශය ප්‍රබල ශක්ති ප්‍රවාහයක් නිර්මාණය වන බවට මතයක් පවතී. මීට පෙර 1966 වසරේදී උදා වූ ‘ගිනි අශ්ව’ වර්ෂය, මෙවැනි තත්ත්වයක් පෙන්නුම් කළ අතර, එවන් වසරක් තුළ ඉහළ ශක්තියක්, වේගවත් වෙනස්කම්, ශුභවාදී ආකල්ප සහ අභිලාෂකාමී ප්‍රවේශයන් දැකගත හැකි බවට සම්ප්‍රදායික විශ්වාසයක් පවතී.

අශ්ව වර්ෂයට අයත් පුද්ගලයෝ සාමාන්‍යයෙන් ක්‍රියාශීලී, සමාජශීලී, ස්වාධීන සහ නව අත්දැකීම් ලැබීමට ප්‍රිය කරන්නන් ලෙස විස්තර කෙරේ. ඔවුන් ප්‍රීතිමත් ස්වභාවයක්, තීක්ෂණ බුද්ධියක් සහ සහජ දක්ෂතා රැසක් ප්‍රදර්ශනය කරන අතර, ඇතැම් අවස්ථාවලදී ඉක්මන් කෝපය, ආවේගශීලී බව සහ අධික ආත්ම විශ්වාසය වැනි දුර්වලතා ද පෙන්නුම් කළ හැකිය. වේගවත් ජයග්‍රහණයේ හා සාර්ථකත්වයේ සංකේතයක් ලෙස අශ්වයා චීන සංස්කෘතියේ සැලකෙන බැවින්, අරමුණු හඹා යාමට හා ක්‍රියාකාරී වීමට අශ්ව වර්ෂයන් ඉතා යෝග්‍ය කාල වකවානු ලෙස පිළිගැනේ.




උපන් වර්ෂයට අදාළ මූලද්‍රව්‍යය (දැව, ගිනි, මිහිකත, ලෝහ, ජලය) අනුව මෙම රාශි චක්‍රයේ ලක්ෂණ වෙනස් වේ. නිදසුනක් ලෙස, දැව අශ්වයින් නිර්මාණශීලී සහ සාමූහික හැඟීම් ඇති අය වන අතර, මිහිකත අශ්වයින් වඩාත් වගකීම් සහගත හා ස්ථාවර ගතිගුණ ප්‍රදර්ශනය කරයි. එසේම, ලෝහ අශ්වයින් දැඩි අරමුණු සහිත හා ස්වාධීන චරිත ලක්ෂණ පෙන්වන අතර, ජල අශ්වයින් අන් අය සමඟ පහසුවෙන් හැඩගැසෙන සුළු, හාස්‍යජනක සහ සංවේදී පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇත. 2026 වසරට අදාළ ගිනි අශ්වයින් ත්‍රාසජනක දේට ඇලුම් කරන, නායකත්ව ගුණාංග සහිත එහෙත් ඉක්මනින් කෝප වන පිරිසක් ලෙස විස්තර කෙරේ.

වසර දොළහක චක්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම රාශි චක්‍රයේ, මෑතකදී යෙදී ඇති අශ්ව වර්ෂ අතර 1954, 1966, 1978, 1990, 2002, 2014 යන වසර ප්‍රමුඛ වන අතර, මීළඟ අශ්ව වර්ෂය 2038 දී උදාවීමට නියමිතය. ලොව පුරා විසූ ප්‍රසිද්ධ නායකයින්, කලාකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් අශ්ව වර්ෂවල උපත ලබා තිබීම ද විශේෂත්වයකි. නෙල්සන් මැන්ඩෙලා, අයිසැක් නිව්ටන්, ජැකී චෑන්, පෝල් මැකාට්නි, ක්ලින්ට් ඊස්ට්වුඩ්, රෝවන් ඇට්කින්සන් (මිස්ටර් බීන්) සහ ග්‍රේටා තන්බර්ග් වැනි ප්‍රකට චරිත මේ අතර වෙති.

year-of-the-fire-horse-2026

year-of-the-fire-horse-2026