
නොරොච්චෝලේ පොලිස් වසමට අයත් නාවක්කාඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීමේ පුවතක් වාර්තා වේ. පෞද්ගලික ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම අපරාධය සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඊයේදෙසැම්බර් 03 වන දින රාත්‍රී කාලයේදී මෙම පහරදීම සිදුව ඇති අතර, එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. රෝහල් ගත කිරීමෙන් අනතුරුව, ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයා සහ එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සඳහන් කරන ආකාරයට මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාවක්කාඩුව ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 35 හැවිරිදි කාන්තාවකි. සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් කාන්තාව තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 23 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නාවක්කාඩුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන එම සැකකරු ද මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර නොරොච්චෝලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval