ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලන හා අධ්‍යයන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් නව පාලක මණ්ඩලයක් පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇත. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණයන් දහහතර දෙනෙකුගෙන් මෙම නව පාලක මණ්ඩලය සමන්විත වේ.
එම නව පාලක මණ්ඩල සාමාජිකයින් ලෙස හේමාස් රෝහලේ සභාපති මුටාසා ඒ.එච්. ඊසුෆලි, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ඉසුරු තිලකවර්ධන, ජෝන්කීල්ස් ආයතනයේ මානව සම්පත් ප්‍රධානී (පාරිභෝගික ආහාර) ඉමානි පෙරේරා සහ ඇන්ඩොස් කොකෝවා ආයතනයේ කණ්ඩායම් අධ්‍යක්ෂ වජිරා කුමාරි හාමි යන මහත්ම මහත්මීන් පත් කර තිබේ. මීට අමතරව වී.වී. කරුණාරත්න සමාගමේ කළමනාකරු ඉංජිනේරු එම්.එම්.එස්. මොරේමදේ, රෙජෙන් රිනෙවබල් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත අබේසිංහ සහ කොමර්ෂල් බැංකුවේ හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරි නන්දික බුද්ධිපාල යන වෘත්තිකයෝ ද මෙම ලැයිස්තුවට ඇතුළත් වෙති.
රාජ්‍ය සේවයේ සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළපුරුදු විද්වතුන් වන හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය එස්.පී. දැරණියගල යන මහත්ම මහත්මීහු ද නව පාලක මණ්ඩලය නියෝජනය කරති. ජාතික ඔලිම්පික් කමිටුවේ වැඩසටහන් අධ්‍යක්ෂ බී.එල්.එච්. පෙරේරා, සී.ඊ.එෆ්.ඊ. ශ්‍රී ලංකා ආයතනයේ සභාපති ගාමිණී බණ්ඩා හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු ආසියා කලාපයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ආයතනයේ ආචාර්ය අනුෂා අබේවික්‍රම සහ නීතිඥ ගෝඨාභය දිසානායක යන අය ද පාලක මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ඇත.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් 1873 වසරේදී ආරම්භ කරන ලද කීර්තිමත් විද්‍යෝදය පිරිවෙන මූලික කරගනිමින් බිහි වූ මෙම සරසවිය, 1959 වසරේදී නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාලය බවට පත් වූ ඓතිහාසික පසුබිමකට උරුමකම් කියයි.
Comments
Post a Comment
Your comment will be visible after approval