president-says-those-who-spread-rumors-about-the-kotmale-dam-being-blown-up-should-be-arrested

 පසුගිය 30 වැනිදා රාත්‍රී කාලයේදී කොත්මලේ ජලාශයේ වේල්ල පුපුරා යන බවට අසත්‍ය ප්‍රචාරයක් සමාජගත කරමින් මහජනතාව දැඩි ලෙස නොසන්සුන් කිරීමට මූලික වූ පිරිස් කවුරුන්ද යන්න වහාම සොයා බලන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා වෙත විශේෂ උපදෙස් ලබා දී තිබේ.



පලාත් ආණ්ඩුකාරවරුන් සමඟ ඊයේ (01) දිනයේ පැවති විශේෂ "සූම්" (ZOOM) තාක්ෂණික සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දීම සිදු කළේය.




එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම සාවද්‍ය කටකතාව සමාජයට මුදා හැරියේ කවුරුන්ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස තමන් මේ වන විටත් පොලිස්පතිවරයාට සහ බුද්ධි අංශ වෙත දැනුම් දී ඇති බවයි.

මේ අතර කොත්මලේ ජලාශයේ සයිරන් නාදයක් නිකුත් වූ බවට වැරදි මතයක් සමාජය තුළ පැතිර ගොස් තිබූ බවත්, එම සිදුවීම සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස තමන් විසින් මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී සඳහන් කර සිටියේය.