sajith-meets-ambassadors-to-request-assistance

 දිවයින පුරා බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආපදා තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ මැදිහත්වීමක් සිදු කර තිබේ. ඒ අනුව ජපානය, කොරියාව සහ යුරෝපා සංගමය නියෝජනය කරන තානාපතිවරුන් පෞද්ගලිකව හමුවූ විපක්ෂ නායකවරයා ආපදා සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.



මෙරට ජපාන තානාපති අකිඕ ඉසමොතා මහතා සහ විපක්ෂ නායකවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද දින පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විනාශයට පත්ව ඇති මෙරට මාර්ග පද්ධතිය නවීකරණය කිරීමට මෙන්ම දුම්රිය මාර්ග පද්ධතිය කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා ජපාන රජය සතු සුවිශේෂී තාක්ෂණික දැනුම, ශ්‍රමය සහ දායකත්වය ලබා දෙන ලෙස මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.




එසේම කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය ද මුණගැසුණු විපක්ෂ නායකවරයා වත්මන් ආපදා තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළේය. මෙම ආපදා තත්ත්වයෙන් මිදී රටක් ලෙස නැවත නැගී සිටීම සඳහා කොරියානු රජයේ උපරිම ආධාර සහ උපකාර ලබා දීමට කටයුතු කරන ලෙස හෙතෙම එහිදී කොරියානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ මහත්මිය හමුවූ අවස්ථාවේදී ද විපක්ෂ නායකවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කරවා තිබේ. ආපදා තත්ත්වය නිසා හානියට පත්වූ සෞඛ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීමටත්, ගංවතුර බැස යාමෙන් පසුව ඉදිරියේදී ඇති විය හැකි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහාත් යුරෝපා සංගමයේ උපරිම දායකත්වය ලබා දෙන ලෙස එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.