දිවයින පුරා බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මාතලේ, අම්බොක්ක ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් එකම පවුලේ සාමාජිකයන් හත්දෙනෙකු සිය නිවස තුළදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය 29 වනදා අලුයම 1.30 ට පමණ නිවසට ඉහළින් පිහිටි විශාල ගල් පර්වත කිහිපයක් සහ පස් කඳු නිවස මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මහවෙල පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මෙම හදිසි ආපදාවෙන් මියගිය පිරිස අතර මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි දියණියක් මෙන්ම අවුරුදු එකයි මාස දහයක් වයසැති කුඩා දරුවෙකු ද සිටීම සිද්ධියේ ශෝචනීය බව තවදුරටත් තීව්‍ර කරවන්නකි.
නායයෑමට හසුවූ පුද්ගලයින් සියලු දෙනාගේම මළ සිරුරු 30 වනදා දහවල් වන විට ගොඩගැනීමට හැකිවූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව දේහයන් භූමදානය කිරීමට නියමිතව තිබිණි.
මෙලෙස දිවි අහිමි වී ඇත්තේ අම්බොක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.එම්. රංජිත් රත්නායක (59), එච්.එම්. විජේලතා මැණිකේ (55), එම්.ජි. ගුණරත්න මැණිකේ (55), ආර්.එම්. පත්මකුමාර (78), කේ.එස්.පී. ප්‍රීතිමාලි ගුණරත්න (34) යන අය සහ 19 හැවිරිදි ආර්.එම්.ඊ. උදේශිකා රත්නායක මෙනවියත්, ආර්.එම්. මනුරි මිනාරා රත්නායක නම් කුඩා දරුවාත් ය.
මෙම සිරුරු ගොඩගැනීමේ මෙහෙයුම මහවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ජයරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ අතර, ඊට ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායම ද, දඹුල්ල විශේෂ කාර්ය බලකා සෙබළුන්, කොහොලන්වල විශේෂ බලකා සෙබළුන් සහ ප්‍රදේශවාසීන් ද එක්ව සිටියහ.
මේ අතර ප්‍රදේශයේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පවුල් හැටකට අයත් පුද්ගලයින් 160 දෙනෙකු අම්බොක්ක විහාරස්ථානයේත්, තවත් පුද්ගලයින් 149 දෙනෙකු රුසිගම ගල්ලෙන බෝධිරාජාරාම විහාරස්ථානයේත් පිහිටුවා ඇති ආරක්ෂිත කඳවුරු තුළ රඳවා තැබීමට පියවර ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval