338-complaints-regarding-issues-with-the-distribution-of-disaster-relief-to-the-1904-number
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට තොරතුරු ලබා දීම සහ ගැටලු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් හඳුන්වා දුන් '1904' හදිසි ඇමතුම් අංකය වෙත පසුගිය 07 වනදා වන විට මහජනතාවගෙන් ඇමතුම් සහ පැමිණිලි 338ක් ලැබී තිබේ. මෙලෙස ලැබුණු පැමිණිලි අතරින් බහුතරයක් රුපියල් 25,000ක මූල්‍ය ආධාරය ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන්, දුෂ්කරතා මෙන්ම සහන බෙදා හැරීමේදී සිදුවන අක්‍රමිකතා සහ අසමානතා සම්බන්ධයෙන් බව වාර්තා වේ.

දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන පැමිණිලි 86ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඊට අමතරව කොළඹ, කුරුණෑගල, පොළොන්නරුව, බදුල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ද සැලකිය යුතු ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇත.


එසේම අනුරාධපුර, අම්පාර, කෑගල්ල, මාතලේ, ගම්පහ, ත්‍රිකුණාමලය මෙන්ම උතුරු පළාතේ යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ජනතාව ද සිය ගැටලු මෙම මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

අඛණ්ඩ විදුලි බිඳවැටීම්, ජල සැපයුම අඩාල වීම සහ LP ගෑස් සපයා ගැනීමේ අපහසුතාව වැනි අත්‍යවශ්‍ය සේවා බිඳවැටීම් පිළිබඳව ද ජනතාව දැඩි ලෙස පැමිණිලි කර ඇති අතර ඇතැම් නිවාසවලට මෙම සේවා කිහිපයක්ම එකවර අහිමි වී ඇති බව සඳහන් වේ. තවද සහල්, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිසි පරිදි නොලැබීම සම්බන්ධයෙන් ද ජනතාව සිය නොසතුට පළ කර ඇත.

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් නිවාසවල බිත්ති ඉරිතැලීම් වැනි භෞතික හානි මෙන්ම මාර්ග අවහිරතා හේතුවෙන් සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමට යාමේදී මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා පිළිබඳව ද මෙම ඇමතුම් හරහා තොරතුරු අනාවරණය වී තිබේ.


ඊට අමතරව ආපදා තත්ත්වය මඩියට ගනිමින් වෙළෙඳුන් විසින් ආහාර ද්‍රව්‍ය, ගෑස් සහ භූමිතෙල් වැඩි මිලට අලෙවි කිරීම සහ භාණ්ඩ හිඟය නිර්මාණය කිරීම නිසා විපතට පත් ජනතාව තවදුරටත් දැඩි පීඩාවකට ලක්ව සිටින බව වාර්තා වේ.

බොහෝ ප්‍රදේශවල සන්නිවේදන කුළුණු අක්‍රීය වීම හේතුවෙන් ජංගම දුරකථන සහ අන්තර්ජාල සබඳතා බිඳ වැටී ඇති අතර, මේ හේතුවෙන් ආධාර ඉල්ලා සිටීමට හෝ තොරතුරු ලබා ගැනීමට නොහැකි වී ඇති බවට ද ජනතාව අදාළ අංශ වෙත පැමිණිලි කර ඇත.