gossiplanka image 1

 දිවයිනට බලපෑ දරුණු සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් හටගත් අධික වර්ෂාව ඌවපරණගම, ගම්පහා කෝරළයේ ප්‍රදේශ රැසක නායයෑම් ඇතුළු ආපදා තත්ත්වයන් නිර්මාණය කර තිබිණි. මෙම ආපදා මධ්‍යයේ ඌවපරණගම මස්පන්න ගම්මානයෙන් වාර්තා වූයේ තම නිවසේ ඇති දැඩි කරන ලද 'චූටි' නම් සුරතල් සුනඛයාගේ ඉව සහ කඩිනම් ප්‍රතිචාරය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකුගේ පමණ ජීවිත අසීරුවෙන් බේරා ගත් සංවේදී පුවතකි.

මෙම සිදුවීමට මුහුණ දුන් මස්පන්න ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු වන ටී.ඇම්. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ තම සුරතල් සත්ත්වයාගේ අසාමාන්‍ය හැසිරීම ජීවිත ගලවා ගැනීමට හේතු වූ බවයි.




ප්‍රදේශයේ පැවති කාලගුණ තත්ත්වය පිළිබඳව විස්තර කරමින් තෙන්නකෝන් මහතා පවසා සිටියේ සැප්තැම්බර් මස සිට වරින් වර වැසි පැවතියද, නොවැම්බර් 27 වැනි දින දහවල් කාලයේ සිට පෙර නොවූ විරූ ආකාරයේ ධාරානිපාත වර්ෂාවක් පතිත වූ බවයි. එදින සවස් වන විට විදුලිය ඇනහිටීමත්, ප්‍රදේශයට පිවිසෙන මාර්ග අවහිර වීමත් නිසා ගම්මානය හුදෙකලා තත්ත්වයකට පත්ව තිබී ඇත. රාත්‍රී ආහාර පිසින අතරතුර නිවසේ සුරතලට ඇති කරන 'චූටි' නම් බල්ලා මුළුතැන්ගෙයි දොරට අත්වලින් පහර දෙමින්, අමුතු හඬක් නගමින් කෑගසන ආකාරය නිවැසියන්ට ඇසී තිබේ. මුලදී එය සොරෙකු පැමිණ ඇති බව හෝ අධික සීතල නිසා නිවස තුළට පැමිණීමට කරන ඉල්ලීමක් ලෙස වරදවා වටහා ගත්තද, දොර විවෘත කළ වහාම බල්ලා බුරමින් ඉදිරියට දිව ගිය බව තෙන්නකෝන් මහතා සිහිපත් කරයි.

සුනඛයාගේ මෙම හැසිරීමත් සමඟම 1926 වසරේදී ද නාය යෑමට ලක්වූ බව කියන නායකඳුර කන්ද දෙසින් විශාල ගල් පෙරළෙන ශබ්දයක් ඇසී ඇත. වහාම ක්‍රියාත්මක වූ තෙන්නකෝන් මහතා නායයෑමේ අවදානම වටහා ගනිමින් තම බිරිඳ සහ ඇයගේ මවද සමගින් දිවි ගලවා ගැනීම සඳහා මීටර් දෙසීයක් පමණ දුරට දිව ගොස් තිබේ. ඔවුන් "නායක් එනවා" යැයි කෑගසමින් දිව යන හඬ ඇසීම නිසා අසල්වැසි නිවාසවල සිටි තවත් පුද්ගලයින් 11 දෙනෙකුට ද තම දිවි බේරා ගනිමින් ආරක්ෂිත ස්ථාන කරා යෑමට අවස්ථාව ලැබී ඇත.




මෙම අනතුරින් ගම්මානයේ යුද හමුදා සාමාජිකයෙකුගේ නිවසක් මෙන්ම මස්පන්න කුඩා නගරයේ තිබූ කඩ කාමර 13ක්, තැපැල් කාර්යාලය සහ බස් නැවතුම්පොළ සම්පූර්ණයෙන්ම පස් කන්දට යට වී විනාශ වී තිබේ. ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගමන් ආරම්භ කරන බස් රථ නවතා තිබූ බස් නැවතුම පස් කන්දක් බවට පත්ව ඇති අතර, එහි ගාල් කර තිබූ බස් රථ 04ක් ද පස්වලට යට වී ඇත. මෙම බිහිසුණු විපතෙන් තමන් ඇතුළු 14 දෙනෙකුගේ ජීවිත බේරා දීමට දායක වූ චූටි නම් සුරතල් සුනඛයාට දරුවෙකුට මෙන් සලකන බවත්, සත්ත්ව ඉව සහ ස්ථානෝචිත හැසිරීම නොවන්නට තමන් සියලු දෙනා පස් කන්දට යටවී මිය යෑමට ඉඩ තිබූ බවත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.