පවතින ආපදා තත්ත්වය සහ හදිසි නීතිය මුල්කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන්ට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති දේශපාලනික සහ සමාජීය කතාබහ මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරිය ඉලක්ක කර ගනිමින් විදේශගතව සිටින පිරිස්
ඇතුළු විවිධ පාර්ශව විසින් සමාජ මාධ්‍ය, අන්තර්ජාලය සහ කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ සිදුකරන අසත්‍ය ප්‍රචාර සහ මඩ ප්‍රහාර වැළැක්වීම සඳහා දැඩි පියවර ගත යුතු බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබිණි.හදිසි අවස්ථා රෙගුලාසිවල 20 සහ 21 වගන්ති යටතේ මෙවැනි ක්‍රියාවන් ආවරණය වන බවත්, ආපදා තත්ත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු පතුරුවන හෝ විකෘති අදහස් සමාජගත කරන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන වසර පහක් දක්වා සිරදඬුවම් ලබාදීමේ හැකියාව පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.
මෙම ප්‍රකාශයත් සමඟ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි විරෝධයක් පළ කර ඇති අතර, ආපදා තත්ත්වය පාලනය කිරීමට පැනවූ හදිසි නීතිය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහෝසි කිරීමට යොදා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ක්‍රියාවක් බව ඔවුන් පෙන්වා දෙයි. බලයට පැමිණීමට පෙර මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි වත්මන් රජය, විවේචන හමුවේ මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කිරීම කණගාටුදායක බවත්, සැකකරුවෙකු ලෙස නොව චූදිතයෙකු ලෙස සලකා කටයුතු කිරීමට උපදෙස් දීම පිළිකුල් සහගත බවත් එම සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, ආණ්ඩුව විවේචනය කරන පිරිස් හදිසි නීතිය යටතේ මර්දනය කිරීමට උත්සාහ කිරීම තුළින් ආණ්ඩුවේ සැබෑ ස්වභාවය හෙළි වන බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ ආකාරයේ උද්දච්ච පිළිවෙතක් අනුගමනය නොකරන ලෙසත්, විපක්ෂයට හෝ විවේචකයන්ට පහර දීම පසෙකලා ජාත්‍යන්තර ආධාර ලබා ගනිමින් විපතට පත් ජනතාව මුදා ගැනීමට කටයුතු කරන ලෙසත් මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කරන්නේ සමාජ මාධ්‍ය හෝ දේශපාලන විවේචන මර්දනය කිරීම සඳහා හදිසි නීතිය යොදා ගැනීමට රජය කිසිදු උපදෙසක් ලබා දී නොමැති බවයි. ජනාධිපතිවරයාගේ උපදෙස් වී ඇත්තේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව බිය ගන්වන සුළු අසත්‍ය ප්‍රචාර (උදාහරණයක් ලෙස ඇළ වේලි පුපුරා යාම් වැනි) පාලනය කිරීමට පමණක් බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. දේශපාලනඥයන් විවේචනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත්, හදිසි නීතිය මුවාවෙන් දේශපාලන දඩයම් සිදු නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජනපතිවරයා පසුගියදා ජාතිය අමතා කළ කථාවේදීද හදිසි නීතිය පැනවූයේ ආපදා රාජකාරී අවශ්‍යතා මත බව අවධාරණය කළ අතර 'කිසිම ආකාරයේ මර්දනීය කටයුත්තක්' සිදු නොකරන බවට සහතික විය.
මේ අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයන් 57 දෙනෙකු හඳුනාගෙන ඇති නමුත්, මේ වන විට ඔවුන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි. එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද මේ සම්බන්ධයෙන් පැමිණිලි 20ක් පමණ ලැබී ඇති බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval