you-are-my-moon-youth-arrested-for-creating-and-selling-fb-pages-using-womens-images-without-permission

 සමාජ මාධ්‍යයේ පළ වූ සුරූපී තරුණියන්ගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් ආදරය, විරහ වේදනාව, ලිංගිකත්වය හා ප්‍රහසනය මූලික කොටගත් ෆේස්බුක් පිටු නිර්මාණය කර මුදලට අලෙවි කර දෙදරු මවක හිංසනයට හා පීඩාවට ලක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයකු රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ නියෝග කළේය.



“මගේ සඳ ඔබයි” නමැති ෆේස්බුක් පිටුව නිර්මාණය කරමින් ඊට අන්තර්ජාලයෙන් ලබාගත් 24 වියැති දෙදරු මවකගේ ඡායාරූපයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුරංග ප්‍රියන්ත නමැති සැකකරු මෙසේ ඇපමත මුදාහැරීමට නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනය ඒකකය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ දෙදරු මව කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.





 2021 වසරේ සිට මේ දක්වා නිර්මාණය ෆේස්බුක් පිටු කර මුදලට අලෙවි කර ඇති සැකකරු තමන් දන්නා හඳුනන සුරූපී කාන්තාවන්ගේ, තරුණියන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් ෆේස්බුක් පිටු නිර්මාණය කර, එම ඡායාරූපවලට සිත් ඇද බැඳගන්නා ළගන්නාසුලු වදන් හා විස්තරද ඇතුළත් කර තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගන්නා පරිදි නිර්මාණයක් සමාජගත කොට ඇති බවත් පැවසීය.  එම ෆේස්බුක් සමූහය සඳහා “ලයික්” දාහකට වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමෙන් අනතුරුව ඒවා විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බවද, ලයික් ප්‍රමාණය අනුව ෆේස්බුක් පිටුවේ වටිනාකමද වැඩිකර ඇති බව ද පොලිසිය කීය.





රුපියල් දහසේ සිට ඉන් ඉහළට මෙම ෆේස්බුක් පිටු අලෙවි කර ඇති සැකකරු විසින් පැමිණිලිකාරියගේ ඡායාරූපයක් ආකර්ෂණීය වදන් සහිතව පළ කර ඇති අතර එම ෆේස්බුක් පිටුව දුටු පැමිණිලිකාරිය සමාජය ඉදිරියේ මහත් පීඩාවට පත්වීමෙන් අනතුරුව පැමිණිල්ල කර ඇති බවත්, මෙම ක්‍රියාදාමය හේතුවෙන් පැමිණිලිකාරිය මානසික ප්‍රතිකාර  ලබාගන්නා තැනැත්තියක බවට පත්වී  ඇති බවත් පැවැසීය. සැකකරු සිය නීතිඥවරයා මගින් කරුණු ඉදිරිපත් කරමින් තමන් අතින් සිදුව ඇති වරද සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන බවත්, අදාළ වරද පිළිගැනීමට සූදානම් හෙයින් ඇප නියම කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කාන්තාවන්ට හිංසා පීඩා වන ආකාරයේ ෆේස්බුක් සමූහ පවත්වාගෙන යෑම තවදුරටත් නොකරන ලෙසට සැකකරුට කරමින් දැඩි සේ අවවාද ඇපමත මුදාහැරීමට නියෝග කළේය.සැකකරු ඇප ලබා සිටියදී අදාළ වැරැදි සිදුකරන්නේ යන්න පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය පෙබරවාරි 20 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.