we-are-told-by-the-police-not-to-take-it-home-in-retaliation-police-inform

 පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නිවෙස්වලට ඇතුළු වීමට උත්සාහ දරන පුද්ගලයන් පිළිබඳව මහජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි උදයකුමාර වුට්ලරි මහතා අවධාරණය කරයි. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ,

එලෙස කිසියම් සැක කටයුතු කණ්ඩායමක් පැමිණියහොත් වහාම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ වෙනත් නිලධාරියකු දුරකතනයෙන් දැනුවත් කිරීම වැදගත් බවයි.

නිවෙස පරීක්ෂා කළ යුතු බව පවසමින් දිවා රාත්‍රී කාලයේ සිවිල් ඇඳුමෙන් පැමිණෙන කිසිවකුට දොර විවෘත නොකරන ලෙසද මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේ පැමිණෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම නිවැසියන්ගේ වගකීමක් වන අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද නිල හැඳුනුම්පත ඔවුන්ගෙන් ඉල්ලා සිටීමට මහජනතාවට අයිතියක් ඇති බවද ඔහු කීවේය. ඕනෑම අවස්ථාවක සම්බන්ධ කර ගැනීම සඳහා ප්‍රදේශයේ පොලිස් නිලධාරියකුගේ දුරකතන අංකයක් සන්තකයේ තබා ගැනීමේ වැදගත්කමද වුට්ලරි මහතා පෙන්වා දුන්නේය.




මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝ 1493ක්, ගංජා කිලෝ 15,500ක්, කොකේන් කිලෝ 32ක්, හෂීෂ් කිලෝ 604ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2554ක් පොලිස් භාරයට ගෙන ඇති බවද සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය. ඊට අමතරව මත්පෙති ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක්ද මෙම කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

"රටම එකට" මෙහෙයුම යටතේ ගතවූ සති එකහමාරක කාලය තුළ පමණක් හෙරොයින් කිලෝ 108ක්, අයිස් කිලෝ 268ක්, ගංජා කිලෝ 388ක්, කුෂ් කිලෝ 4ක්, හෂීෂ් කිලෝ 25ක් සහ මත් කරල් 4400ක් සොයාගෙන ඇත. මෙම මෙහෙයුම් හා විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 13,490 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 299 දෙනකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇත. තවද, නීති විරෝධී වත්කම් පිළිබඳ සිදුවීම් 09ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවද සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.