what-are-the-ministers-doing-in-the-bungalows-chamara-asks

 ඇමැති නිල නිවාස 38ක් අතරින් නිවාස අටකින් එකක් කතානායකවරයාට සහ ඉතිරි 7 නියෝජ්‍ය අමාත්‍යවරුන් හත් දෙනෙකුට වෙන් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාරිය චන්දන අබයරත්න මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. එම නිවාස ලබා දී ඇත්තේ ඔවුන්ගේ වැටුපෙන් කුලියක් අය කර ගැනීමේ පදනම මත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.



මෙම නිවාසවලට අමතරව තවත් ඇමැති බංගලා හයක් රාජ්‍ය ආයතන සඳහා වෙන් කර ඇත. ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එකක්, පොලිස් දෙපාර්තමේන්තුවට එකක් සහ විශේෂ අධිකරණ පිහිටුවීමේ කටයුතු සඳහා අධිකරණ අමාත්‍යාංශයට නිවාස හතරක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා කීවේය.




පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. කෙසේ වෙතත්, මෙම නිවාස කිසිදු අමාත්‍යවරයකුට ලබා දී නොමැති බව නිශ්චිතව පැවසූ අමාත්‍ය අබයරත්න මහතා, එම නිවාස අට නාමික පදනමක් මත ලබා දී ඇති බව පැහැදිලි කළේය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද නිවාස ඉල්ලා සිටියහොත්, ඒ පිළිබඳව සලකා බලා සුදුසු නම් පමණක් ලබා දීමට කටයුතු කරන බව ද ඔහු කීය.

මෙහිදී අදහස් දැක්වූ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කියා සිටියේ, වැටුපෙන් කුලිය කපා ගන්නේ නම් මෙම නිවාස ඕනෑම අයෙකුට ලබා දිය හැකි බවත්, ආණ්ඩුව මුල සිටම කියා සිටියේ ඇමැති නිවාස නොගන්නා බවත්ය. තමන් ඇමැතිවරයෙකුව සිටියදීත් මාදිවෙල නිල නිවාසයේ පදිංචි වූ බවත්, සමහර ඇමැතිවරුන් මාදිවෙල සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඇතැම් ඇමැති ගෙවල් මේ වන විට කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇති බවත්, වසර දෙකක් වසා තැබීමෙන් එම ගොඩනැගිලි විනාශ විය හැකි බැවින් ඒවා අලුත්වැඩියා කර කාට හෝ ලබා දිය යුතු බවත් දසනායක මහතා අවධාරණය කළේය. නිවාස වසා තබා ගැනීම සාධාරණ නොවන බවට මන්ත්‍රීවරයා දැක්වූ එම අදහස අමාත්‍ය අබයරත්න මහතා ද අනුමත කළේය. තවත් ආයතන කිහිපයක් ද මෙම ඇමැති නිවාස ඉල්ලා ඇති බවත්, එම ඉල්ලීම් ද සලකා බලමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.