'මින් විසිතුරු ශ්‍රී ලංකා' සහ 'සී ෆුඩ් ෆියෙස්ටා' වැනි මෙතෙක් පැවති ජාතික මට්ටමේ ප්‍රදර්ශන අභිබවා යමින්, 'Aqua Planet - Sri Lanka, International Expo – 2025' නමැති ජාත්‍යන්තර ප්‍රදර්ශනය එළඹෙන 2025 වසරේ නොවැම්බර් මස 21, 22 සහ 23 යන තෙදින තුළ කොළඹ නෙලුම් කුලුන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර ධීවර දිනයට සමගාමීව සංවිධානය කෙරෙන මෙම දැවැන්ත ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.මෙම ප්‍රදර්ශනය හරහා ගෝලීය ධීවර වෘත්තිකයන්, පර්යේෂකයන්, ව්‍යවසායකයන් මෙන්ම අදාළ ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන දේශීය හා විදේශීය පාර්ශ්ව රැසක් ඒකරාශී කිරීම අපේක්ෂාවයි. එහිදී ශ්‍රී ලංකාවේ ධීවර සම්පත, ජලජීවී වගාව, සැකසුම්කරුවන්, අපනයනකරුවන් සහ විසිතුරු මත්ස්‍ය වගාකරුවන් නියෝජනය කරමින් මෙරට සතු සමස්ත ජලජ සම්පත් විභවය ඉස්මතු කර දැක්වීමට සැලසුම් කර ඇත.
තිරසරභාවය, නවෝත්පාදනය, වෙළෙඳාම, අධ්‍යාපනය සහ නිල් ආර්ථික හෙවත් සාගර ආර්ථික මූලධර්ම යන තේමාවන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ඇත.
මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සමගාමීව විශේෂ වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට ද සංවිධායකයෝ පියවර ගෙන තිබේ. සමුද්‍ර සංරක්ෂණය පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡා, තිරසර තාක්ෂණයන් පිළිබඳ ප්‍රදර්ශන මෙන්ම, ව්‍යාපාරිකයන් එකිනෙකා හඳුන්වා දීමේ සහ ගළපා ගැනීමේ සැසිවාර (Business matching sessions) ද ඊට ඇතුළත් ය. තවද, මුහුදු ආහාර සැකසීමේදී චක්‍රීය ආර්ථික යෙදවුම් භාවිත කිරීම වැනි කාලීන මාතෘකා ඔස්සේ විශේෂිත වැඩමුළු පැවැත්වීමට ද නියමිතය.
සාම්ප්‍රදායික ධීවර සහ ජලජ ක්ෂේත්‍රයන් සඳහා තිරසර භාවිතයන් හඳුන්වා දීම හා ඒකාබද්ධ කිරීම තුළින්, ශ්‍රී ලංකාව සතු එහෙත් මෙතෙක් නිසි පරිදි ප්‍රයෝජනයට නොගත් නිල් ආර්ථික අවස්ථාවන් පිළිබඳව පුළුල් අවධානයක් යොමු කිරීම මෙම ප්‍රදර්ශනයේ තවත් මූලික අභිප්‍රායකි. එමඟින් රටේ සමස්ත ආර්ථික නිමැවුම ඉහළ නැංවීමට ඇති හැකියාව සහ අවස්ථාවන් කෙරෙහි වැඩිදුරටත් අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval