දිවයිනට බලපා ඇති සුවිශේෂී කාලගුණ පද්ධතියේ බලපෑම හේතුවෙන් පවතින තද වැසි සහ දැඩි සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම 2025 නොවැම්බර් 27 වන දින උදෑසන 8.30 සිට 28 වන දින අලුයම 4.30 දක්වා වූ කාල පරාසය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඉතා ඉහළ වර්ෂාපතන අගයන් වාර්තා වී තිබේ.
මෙම වාර්තාවලට අනුව ඉහළම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ චෙඩ්ඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 315 කි. ඊට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයේ අලම්පිල් ප්‍රදේශයෙන් මිලිමීටර් 305 ක වර්ෂාපතනයක් ද, මහනුවර නගරයෙන් මිලිමීටර් 223.9 ක් සහ මන්නාරම මඩු ප්‍රදේශයෙන් මිලිමීටර් 218.5 ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත. රත්නපුර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින් ද මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇද හැලී ඇති බව කාලගුණ දත්ත පෙන්වා දෙයි.ඉදිරි කාලය තුළදී ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ කර ඇත. විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි ඇතිවීමේ දැඩි අවදානමක් පවතී. එසේම ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ද, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ අංශ දැනුම් දෙයි.
තද වැසි තත්ත්වයට අමතරව දිවයින පුරා දැඩි සුළං තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි අතර, එය විටින් විට පැයට කිලෝමීටර් 80 සිට 90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී. මෙම තද වැසි සහ තද සුළං හේතුවෙන් සිදුවිය හැකි ආපදා සහ අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Comments
Post a Comment
Your comment will be visible after approval