පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මේ වන විට පුද්ගලයන් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි. මෙම ආපදා තත්ත්වයන් හේතුවෙන් තවත් පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, 14 දෙනෙකු තුවාල ලබා ඇති බව ද එම මධ්‍යස්ථානය නිකුත් කළ දත්තවල දැක්වේ.
විශේෂයෙන් බදුල්ල, අම්පාර, මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ආපදාවලින් වැඩි බලපෑමක් එල්ල වී තිබේ. අධික වර්ෂාවත් සමඟ හටගත් නායයෑම් සහ පස්කඳු කඩාවැටීම් හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 21කි. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ද මරණ 15ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 152ක් ආවරණය වන පරිදි පවුල් 12,313කට අයත් පුද්ගලයන් 43,991 දෙනෙකු ආපදාවට ලක්ව සිටින බව නිල වාර්තා පෙන්වා දෙයි. බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කළේ, තම දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 986ක පුද්ගලයන් 3,089 දෙනෙකු මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.
අම්පාර දිස්ත්‍රික්කයේ ද ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම්, කුඹුරු සහ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇත. අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාමපුර, සේනානායකපුර සහ මිහිඳුපුර යන ගම්මානවල පවුල් 120ක් අවතැන් වී ඇති අතර, ඔවුන් මේ වන විට තාවකාලික අවතැන් කඳවුරු වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 39ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 52කට වැඩි සංඛ්‍යාවක් ඊයේ (නොවැම්බර් 27) පස්වරු 5:00 පමණ වන විට වාන් දමමින් පැවති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) පී. එස්. ඩී. හේරත් මහතා ප්‍රකාශ කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය, නාච්චාදූව සහ වෙහෙරගල ජලාශ ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ද, පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව සහ ඉඟිනිමිටිය යන ජලාශ ද මෙලෙස වාන් දමන ජලාශ අතරට අයත් වේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශය උපරිම ජල මට්ටම කරා ළඟා වී ඇති බැවින්, ජල ධාරිතාව පාලනය කිරීම සඳහා ඊයේ පස්වරුව වන විට එහි වාන් දොරටු 8ක් අඩි 7 බැගින් විවෘත කර තිබූ අතර, ඉන් තත්පරයට ඝන අඩි 94,200ක ජල ප්‍රමාණයක් මුදා හැරීමට කටයුතු කර තිබුණි. එසේම, කලා වැව ගංගා ද්‍රෝණියට ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟ රාජාංගණය ජලාශයේ ද වාන් දොරටු 16ක් විවෘත කර තත්පරයට ඝන අඩි 22,000කට ආසන්න ජල ප්‍රමාණයක් පිට කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යක්ෂවරයා පැවසීය.
ඉදිරියටත් වර්ෂාව ලැබිය හැකි බැවින් ජලාශවල ජල මට්ටම ඉහළ යාම මත පදනම්ව වාන් දොරටු විවෘත කිරීම සිදු කෙරෙන බව බලධාරීහු පෙන්වා දෙති. එබැවින් වාන් දමන ජලාශවල පහළ නිම්න ප්‍රදේශවල පදිංචි ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ අංශ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත්, ලබා දෙන උපදෙස් පරිදි ආරක්ෂිතව කටයුතු කළ යුතු බවත් අදාළ අංශ විසින් දැනුම් දී සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval