කැලණි ගංඟා ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (28) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි අංක 03 දරණ රතු වර්ණයෙන් යුත් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය ලබන 30 වැනිදා උදෑසන 6.00 දක්වා ඉදිරි පැය 48 ක කාලය පුරා වලංගු වන බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කරයි.
දැනට පවතින අධික වර්ෂා තත්ත්වය හමුවේ කැලණි ගඟේ ඉහළ ජලාශවලින් පිටකරනු ලබන ජල ධාරිතාව ඉහළ ගොස් ඇති අතර, ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමේදී ඉදිරි පැය 48 තුළ කැලණි ගඟ නිම්නයේ පහත්බිම්වල මහා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් මතුව ඇත.
විශේෂයෙන් ඇහැළියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ප්‍රදේශවල මෙම ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත.
මෙම හදිසි ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවටත්, එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ටත් තමන්ගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කරගැනීම සඳහා දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. තවද මෙම තත්ත්වය පාලනය කිරීම සහ සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත දැනුම් දී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval