update-npps-disna-neranjala-kosgoda-is-a-relative-of-sujee-resigns

 හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික තොගයක් සමග අත්අඩංගුවට ගත් පාසල් විදුහල්පතිවරයෙකු සහ තවත් සැකකරුවෙකු අද (06) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් මෙම විදුහල්පතිවරයා, ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රීවරියක වන දිස්නා නෙරංජලාගේ ස්වාමිපුරුෂයා බව පොලිස් විමර්ශන මගින් තහවුරු කරගෙන ඇත.



මෙම අත්අඩංගුවට ගැනීමත් සමග, අදාළ මන්ත්‍රීවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. පොලීසිය පවසන්නේ මෙම මන්ත්‍රීවරිය, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ඥාතිවරියක වන බවටද තොරතුරු ලැබී ඇති බවය.

මෙම සිදුවීම් දාමයේ ආරම්භය සනිටුහන් වී ඇත්තේ, පසුගිය 29 වන දින ඉපලෝගම ප්‍රදේශයේදී හෙරොයින් සමග තරුණයෙකු අත්අඩංගුවට ගැනීමත් සමගය.


අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි එම සැකකාර තරුණයා, තමන්ව බැලීම සඳහා පැමිණි සිය සගයෙකුට නිවසේ සඟවා තිබූ හෙරොයින් පාර්සලයක් පිළිබඳව දන්වා ඇත.

නිවසට නුදුරු වැවක් ආශ්‍රිත ප්‍රදේශයක එම මත්ද්‍රව්‍ය පාර්සලය සඟවන ලෙස සැකකරු සිය සගයාට උපදෙස් දී තිබේ. සගයා විසින් එය සඟවා තැබීමෙන් අනතුරුව, රඳවා සිටින සැකකරු සිය පියා වන විදුහල්පතිවරයා අමතා, අදාළ පාර්සලය සගයා ලවා නැවත ගෙන්වාගෙන නිවස පිටුපස සඟවන ලෙස දැනුම් දී ඇත.

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුතු මෙම හෙරොයින් තොගය සගයා විසින් සොරා ගැනීමට ඉඩ ඇති බවටද සැකකාර පුත්‍රයා සිය පියාට අනතුරු අඟවා තිබූ බව පොලීසිය පවසයි. ඒ අනුව විදුහල්පතිවරයා විසින් එම මත්ද්‍රව්‍ය තොගය ගෙන්වාගෙන ගල්නෑවේ පිහිටි සිය නිවස පිටුපස වළ දමා තිබේ.




අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත, ප්‍රථමයෙන් අදාළ සගයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සියලු තොරතුරු අනාවරණය වී ඇත. අනතුරුව විදුහල්පතිවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී, වළ දමා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 185 යි මිලිග්‍රෑම් 400 ක් බරැති පාර්සලය පොලිස් භාරයට ගෙන තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එප්පාවල කටියාව යාය 10 ප්‍රදේශයේ රජයේ පාසලක සේවය කරන අයෙකු බව හඳුනාගෙන ඇත. ඊයේ (05) පස්වරුවේ ඔහුගේ බිරිඳ වන මන්ත්‍රීවරියගේ පෑලියගොඩ පිහිටි නිවස පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කළද, එහි තිබී සැකකටයුතු කිසිවක් හමු වී නොමැත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ ඉහළ පෙළේ අවධානය යොමු වී ඇති අතර, ඊයේ දිනයේ සාකච්ඡා කිහිපයක්ම පවත්වා තිබේ. පක්ෂය විසින් තීන්දුවක් ගෙන ඇයව ඉවත් කිරීමට වඩා, ඇය විසින්ම ස්වේච්ඡාවෙන් ධුරයෙන් ඉල්ලා අස්වීමට අවස්ථාව දිය යුතු බවට එහිදී එකඟතාවක් ඇති වී ඇත. කෙසේ වෙතත්, පොලීසිය ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග සඳහා කිසිදු බලපෑමක් නොකළ යුතු බවටද පක්ෂය අවධාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ සහ අනෙකුත් සැකකරුවන්ගේ දේපළ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.