anuradhapura-district-irrigation-director-who-was-agitating-over-boundary-markers-receives-an-emergency-transfer

 අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජයන්ත ද සිල්වා මහතාට හදිසි ස්ථාන මාරුවීමක් ලබා දී ඇති බවට වාර්තා වේ. ඔහු මෑතක දී මහත් ආන්දෝලනයකට තුඩු දුන් අනුරාධපුර නුවර වැව ඇතුළු වැව් රක්ෂිත ප්‍රදේශවල සීමා මායිම් සලකුණු කිරීමේ කාර්යයට සක්‍රීයව නායකත්වය දෙමින් සිටි නිලධාරියෙකි.



වාරිමාර්ග දෙපාර්තමේන්තු සේවකයින් පිරිසක් සැක පළ කරන්නේ, අදාළ තනතුරට පත්වී වසරක් වැනි කෙටි කාලයක් ගතවීමටත් මත්තෙන් මෙම ස්ථාන මාරුව ලබා දීම පිටුපස දේශපාලනමය අරමුණක් පවතින බවයි. ජයන්ත ද සිල්වා මහතා නුවර වැව ඇතුළු වාරිමාර්ග වැව් රක්ෂිතවල සීමා මායිම් නීර්ණය කිරීමේ ප්‍රබල මෙහෙවරක් ඉටු කරමින් සිටි බවද ඔවුහු පෙන්වා දෙති.

සිය කෙටි සේවා කාලය තුළදී වුවද, ජනතාව මෙන්ම සේවකයින් අතරද කීර්තිමත් නිලධාරියෙකු ලෙස ප්‍රසාදය දිනා ගැනීමට ඒ මහතා සමත්ව තිබිණි. අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී පවා ඔහු මෙම සීමා මායිම් සටහන් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් සමඟ සෘජුවම අදහස් හුවමාරු කර ගනිමින් තීන්දු තීරණ ගත් බව සඳහන් වේ.




මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී.එන්.කේ. පලිහේන මහතාට අයත් ඉඩමක් ද නුවර වැව් සීමාවට හසුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. මීට අමතරව, අනුරාධපුර නුවර වැව් රක්ෂිතයේ සිදුකර ඇති ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනා තුන්සිය පනහකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව හිටපු වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ද මෑතකදී ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වුවද, නුවර වැවට අයත් වැව් රක්ෂිත ඉඩම් සම්බන්ධයෙන් රජය විසින් නිශ්චිත තීන්දුවක් ගන්නා තුරු වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට දැනුම් දීමක් කර ඇති බවට දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයාට මෙම හදිසි ස්ථාන මාරුව ලබා දීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තු සේවකයින්, පරිසර ක්‍රියාකාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද දැඩි කනස්සල්ල පළ කර සිටිති.