දිවයිනට ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට "දිට්වා" (Ditwah) සුළි කුණාටුව දක්වා වර්ධනය වී පොතුවිල් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කේන්ද්‍රගතව පවතින අතර, එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම කාලගුණික පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, සබරගමුව සහ බස්නාහිර ඇතුළු සෙසු ප්‍රදේශවලට ද තද වැසි සහ පැයට කිලෝමීටර් 60-70 දක්වා වූ තද සුළං බලාපොරොත්තු විය හැක. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 5ක මරණ 30ක් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදහන්වී තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි.කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් නෝර්වුඩ්, රුවන්වැල්ල, අවිස්සාවේල්ල, කඩුවෙල සහ කොළඹ ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. ඊට අමතරව මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා යටිනුවර සහ ගඟවට කෝරළය ප්‍රදේශවල අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය. පුත්තලම දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් හලාවත නගරය ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවත්, තත්පරයට ඝන අඩි 65,000කට අධික ජල ප්‍රමාණයක් නිකුත් කරන බැවින් පහත් බිම්වල ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
අධික වර්ෂාව සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් ද, හෙම්මාතගම - ගම්පොළ මාර්ගය ද සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර රියදුරන් විකල්ප මාර්ග භාවිතා කළ යුතුය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පස් කඳු සහ බැමි කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් නිවාස ආශ්‍රිතව එවැනි ස්ථාන ඇත්නම්, විශේෂයෙන් රාත්‍රී කාලයේදී දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ජනතාවට උපදෙස් දී ඇත.
අයහපත් කාලගුණය පහව යන තුරු දක්ෂිණ, මධ්‍යම ඇතුළු සියලුම අධිවේගී මාර්ගවල ගමන් ගන්නා තීරෝද රථ සහ යතුරුපැදි හැර අනෙකුත් වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ලබාදීමටත්, විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. මහියංගණය, අම්පාර සහ වව්නතිව් වැනි ප්‍රදේශවල විදුලිය බිඳවැටීම් වාර්තා වී ඇති අතර, සෞඛ්‍ය සහන සැලසීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් 077-4506602 දරණ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව 117 හෝ 077-3957900 යන අංක අමතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසත්, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
වෙරළාසන්න ප්‍රදේශවල මුහුදු රළ මීටර් 3-4ක් පමණ ඉහළ යා හැකි බැවින් සහ තද සුළං පවතින බැවින් නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ හමුදා අංශ සම්බන්ධීකරණයෙන් කටයුතු යොදා ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ හදිසි මුදාගැනීම් සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ද සූදානම් කර තිබේ.


Comments
Post a Comment
Your comment will be visible after approval