update-all-68-people-trapped-by-the-flood-in-rajanganaya-have-been-rescued-safely

 අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ කලා ඔය පාලම මතින් ධාවනය වෙමින් තිබියදී සැඩ පහරට හසුව ගසාගෙන ගිය බස් රථයේ සිටි මගීන් සියලු දෙනා මේ වන විට නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකි වී තිබේ. මෙම ආපදා තත්ත්වය පිළිබඳව තොරතුරු තහවුරු කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අදාළ මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථක වූ බවයි.



මගීන් 68 දෙනෙකු රැගත් මෙම බස් රථය හදිසියේ ඉහළ ගිය ජල කඳ හේතුවෙන් මාර්ගයෙන් ඉවතට තල්ලු වී ගොස් ජලයේ කොටු වී තිබිණි. මෙම අනතුරත් සමඟ දැඩි අසරණ තත්ත්වයකට පත් වූ මගීන් තම ජීවිත ආරක්ෂාව පතා අසල පිහිටි නිවසක වහලය මතට නැග රැඳී සිටි බව වාර්තා වේ.



ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළ යාම සහ දරුණු සැඩ පහර හේතුවෙන් ඊයේ රාත්‍රී කාලයේදී මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කිරීමට බාධා එල්ල වී තිබිණි.

කෙසේ වෙතත්, අද අලුයම ආපදා සහන කණ්ඩායම් එම ස්ථානයට ළඟා වීමත් සමඟ මුදා ගැනීමේ කටයුතු ආරම්භ කළ අතර විපතට පත් පිරිස ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට හැකි විය. බේරාගත් පිරිස අතර විදේශික කාන්තාවක් සහ සේවයේ නියුතු විනිසුරුවරයෙකු ද සිටින බව නිලධාරීහු සඳහන් කළහ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආපදාවට ලක්වූවන් කඩිනමින් සහ ආරක්ෂිතව ඉවත් කර ගැනීම සහතික කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැදිහත් වී මෙම මුදා ගැනීමේ මෙහෙයුම පෞද්ගලිකවම අධීක්ෂණය කරමින් සිටී.

gossiplanka image 1



gossiplanka image 3