indian-army-battalion-arrives-in-the-island-with-tons-of-aid-photos

 ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් මගින් ඉන්දීය මුදා ගැනීමේ හමුදා බළඇණියක් අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඉලුෂියන් – 76 (Ilyushin-76) වර්ගයේ මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වනු ලැබුවේ අද පෙරවරු 08.00 ට පමණය.



මෙම විශේෂ ගුවන් යානයෙන් ඉන්දීය මුදා ගැනීමේ බලකායේ අනු ඛණ්ඩ දෙකක් දිවයිනට පැමිණ ඇති අතර,


ඊට කාන්තා නිලධාරිනියන් 04 දෙනෙකු සහ සෙසු නිලයන් 76 දෙනෙකු ඇතුළුව මුළු භට පිරිස 80 දෙනෙකු ඇතුළත් වී තිබේ. ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මෙට්‍රික් ටොන් 09 ක ප්‍රමාණයක් සහ එම මුදා ගැනීමේ කණ්ඩායමේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය වන උපකරණ මෙට්‍රික් ටොන් 08 ක් ද මෙම ගුවන් යානය මගින් රැගෙන විත් තිබුණි.

ආපදා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහාම විශේෂ පුහුණුවක් ලැබූ නිල සුනඛයන් 04 දෙනෙකු ද මෙම කණ්ඩායම සමඟ පැමිණ සිටීම විශේෂත්වයකි. මීට අමතරව ආපදා සහන කටයුතු සඳහා යොදා ගැනීමට බෝට්ටු 18 ක්, විදුලි ජනක යන්ත්‍ර ඇතුළු විශාල උපකරණ තොගයක් ද මෙම ගුවන් යානය මගින් ප්‍රවාහනය කර තිබේ.

 ඉන්දියානු ගුවන් හමුදාවේ C-130 J ගුවන් යානයක් මීට ඉහත කොළඹට පැමිණියේ කූඩාරම්, ටාපෝලින්, බ්ලැන්කට්, සනීපාරක්ෂක කට්ටල සහ කෑමට සූදානම් ආහාර ඇතුළු මානුෂීය ආධාර ටොන් 12 ක් පමණ රැගෙනය.

 ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට සහය වීම සඳහා සාගර් බන්ධු මෙහෙයුම (Operation Sagar Bandhu) යටතේ සහන ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය සහන කණ්ඩායම් කඩිනමින් යොමු කර ඇති බව ඉන්දීය අගමැතිවරයා සඳහන් කර තිබේ.
සියලු ඡායාරූප click here