ඉෂාරා සෙව්වන්දිට මෙරටින් පලා යෑම සඳහා බෝට්ටු සපයා දුන් පුද්ගලයාගෙන් හෙළි වූ තොරතුරු මත එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ උණ්ඩ තොගයක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ.
මන්නාරම වෙල්ලම්කුලම් ප්‍රදේශයේ පිහිටි ගොවිපළක සඟවා තිබියදී මෙම උණ්ඩ සොයාගෙන ඇති අතර, ඒවා මයිකෝ වර්ගයේ පිස්තෝල සඳහා යොදා ගන්නා උණ්ඩ 12 ක් බව පොලිසිය පවසයි.
ඉෂාරා සෙව්වන්දිට පලා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මේ වන විට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. බෝට්ටු සැපයූ ප්‍රධාන සැකකරු වන අන්තෝනි පිල්ලේ ආනන්දන් නැමැත්තා කොළඹ - නුවර මාර්ගයේ තිහාරිය ඕගොඩපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔහුගෙන් පැය 72 ක රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත, ඔහුට ගිනි අවි ලබා දුන් තවත් පුද්ගලයෙකු වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.
මොහොමඩ් රිස්වි නොහොත් 'සිලෝන් බායි' නමැති විදෙස්ගත පුද්ගලයාගේ සහ ගිනි අවි සැපයූ පුද්ගලයාගේ දැඩි බලපෑම මත ඉෂාරා සෙව්වන්දි පසුගිය මැයි 08 වනදා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඇය රටින් පිටවන තෙක් කිලිනොච්චිය උදයනගර බටහිර ප්‍රදේශයේ නිවසක රඳවා තබා ගනිමින් පෙරුමාල් සන්තකේෂන් නැමැත්තෙකු විසින් ඇයට රැකවරණය ලබා දී තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුට ද මුහුදු මගින් පලා යෑමට මෙම බෝට්ටු සැපයූ සැකකරු පහසුකම් සලසා ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් බෝට්ටු සැපයූ සැකකරු 52 හැවිරිදි අයෙකු වන අතර ගිනි අවි ලබා දුන් පුද්ගලයා 43 වන වියේ පසුවන්නෙකි. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් ඇතුළු කණ්ඩායමක් මෙම විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval