a-scam-that-makes-money-from-facebook-pages-that-promote-religious-devotion

'ස්වර්ණමාලි සෑරදුන් අභියස’, ‘ආශීර්වාද පූජා’ 'පන්සිය පනස් ජාතක කතා වස්තුව’ ඇතුළු විවිධ නම්වලින් මුහුණුපොතේ පිටු පවත්වාගෙන යමින්, පිළිකා රෝගී දරුවන්ගේ තොරතුරු භාවිතා කර ඉතා සූක්ෂම ලෙස මුදල් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වූ කරුණු පෙරේදා (06) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කළේය.




සැකකරුවන් විසින් ආගමික සහ සමාජ සත්කාරක මුහුණුවරකින් පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටු රැසක් මෙම ජාවාරම සඳහා යොදාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. ඒ අනුව ‘ස්වර්ණමාලි සෑරදුන් අභියස’, ‘ආශීර්වාද පූජා’, ‘පිරුණු හදවත්’, ‘නිවන් මඟට දහම් බිඳක්’ වැනි ආගමික තේමාවන් යටතේ මෙන්ම, ‘මගේ බබාට කෑම’, ‘දරු සුරතල් ප්‍රමාද සැමට’, ‘Nursing Sri Lanka’ සහ ‘යුරෝපයේ අපි’ යනුවෙන් නම් කරන ලද පිටු හරහා පිළිකා රෝගී දරුවන්ගේ දැන්වීම් පළ කරමින් ඔවුන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් එක්රැස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ අනාවරණය කළේය.




මෙම වංචාව පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. පිළිකා රෝගයෙන් පෙළෙන සිය දියණියගේ ඡායාරූප සහ තොරතුරු ඇයගේ දෙමාපියන්ගේ අවසරයකින් තොරව වංචනික ලෙස භාවිතා කරමින්, සැකකරුවන් විසින් විවිධ බැංකු ගිණුම් වෙත අදාල මුදල් බැර කරවාගෙන ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී ඕපනායක සහ රක්වාන ප්‍රදේශවල පදිංචි චමිල් සඳරුවන්, මුසාන් ෂාමින්ද සහ හර්ෂ චතුරංග යන සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළ අතර, මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.