
වත්මන් ආණ්ඩුව මහා භාණ්ඩාගාරය තුළ රුපියල් ට්‍රිලියනක් පමණ ඉතිරිව ඇති බවට සිදුකරන ප්‍රකාශ ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්තවලට අනුව පිළිගත නොහැකි හුදු කතන්දරයක් පමණක් බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. ඊයේ (13) සිය නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ව්‍යුහය අනුව භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිවීමක් සිදුවිය නොහැකි බවයි.
මෙරට ආර්ථිකය මුහුණ දෙන ප්‍රධානතම ජාතික ගැටලු දෙකක් පවතින බවත්, ඉන් ප්‍රධානතම ගැටලුව වන්නේ ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හෙවත් ජංගම ගිණුමේ (වර්තන ගිණුමේ) පවතින හිඟය බවත් ගුණවර්ධන මහතා විස්තර කළේය. 1950, 1951 සහ 1977 යන වසර තුන හැරුණු විට ආර්ථික අර්බුදය උච්චතම අවස්ථාව දක්වාම මෙන්ම වර්තමානයේදී ද රජය පවත්වාගෙන යෑමට සරිලන ආදායමක් උපයා ගැනීමට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ මෙවැනි හිඟයක් පවතින පසුබිමක භාණ්ඩාගාරයේ කිසිදු ඉතිරියක් සිදු නොවන බවත්, කවර පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් වුවද එදිනෙදා වියදම් පියවා ගැනීමට ආදායමක් නොමැති හෙයින් දේශීය හා විදේශීය ණය ලබා ගැනීමට සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අනුව ණය නොගත් ආණ්ඩුවක් ඉතිහාසයේ නොතිබූ බවත්, අනාගතයේදී ද ණය නොගෙන රට පාලනය කරන ආණ්ඩුවක් බිහි නොවන බවත් හිටපු අමාත්‍යවරයාගේ අදහස විය.
වත්මන් රජය විසින් ඉදිරිපත් කරනු ලබන අණ පනත් හරහා උත්සාහ කරනුයේ රාජ්‍ය අය වැයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ක් හෝ ඊට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට බව ඔහු පැහැදිලි කළේය. රජයේ ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සිදු කළ පසු, පොලී වියදම් හැර ඉතිරි වන ප්‍රාථමික ගිණුමේ සියයට 2.3ක අතිරික්තයක් තිබුණ ද, ණය පොලී ගෙවීමෙන් පසු නැවතත් ජංගම ගිණුමේ හිඟයක් නිර්මාණය වන බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
2022 වසරේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් විස්තීරණ ණය පහසුකම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ නීතිමය රාමුව සකස් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය දැඩි විනයකට හා බැඳීම් රැසකට යටත් කර ඇති බව ද හිටපු අමාත්‍යවරයා සිහිපත් කළේය.
මෙම තත්ත්වය යටතේ වත්මන් රජය 2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය, 2024 වසරේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන දෙවන අයවැය ලෙස සැලකිය හැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
මේ අතර, අයවැය සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් වඩාත් පුළුල් හා බුද්ධිමය සංවාදයක් ගොඩනැගීමේ අරමුණින් තමන් විසින් රචිත කෘතියක් එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව ද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අනාවරණය කළේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් එළඹ ඇති ගිවිසුම් හා කොන්දේසි පිළිබඳව ජනතාව, මන්ත්‍රීවරුන් සහ විද්වතුන් දැනුවත් කිරීම සඳහා "අයිඑම්එෆ් ප්‍රකීර්ණ විසඳුම්" නමින් රචනා කරන ලද මෙම කෘතිය එළඹෙන 17 වැනිදා පස්වරු 5.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval